තිස්සකුට්ටිආරච්චි කනගාටුව පළ කරයි: ජනපති දැමූ අපහාස නඩුව සමථයකට පත්වෙයි

Tissakutti

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව කොන්දේසි විරහිතව කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි අද (ජූලි 29) කොළඹ දිසා අධිකරණයට දැනුම් දුන්නේ ය.

තිස්සකුට්ටිආරච්චි කළ ප්‍රකාශයක් නිසා තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක විසින් ගොනු කර තිබූ නඩුවක් කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණි.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර තිස්සකුට්ටිආරච්චි ද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

තිස්සකුට්ටිආරච්චි කළ ප්‍රකාශය

2023 වසරේ අගෝස්තු මස 19 වන දා මැද කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පැවති මහජන රැලියකදී ජානක තිස්සකුට්ටිආරච්චි පැමිණිලිකාර අනුර කුමාර දිසානායක බිලියන පහක මුදලක් මෝල්ටාවේ ආයෝජනය කර තිබෙන බවට ප්‍රකාශ කර තිබූ බවට නඩුවෙන් චෝදනා එල්ල කර තිබිණි.

තිස්සකුට්ටිආරච්චිගේ මෙම ප්‍රකාශය තුළින් ඔහු තමන්ව දූෂිත පුද්ගලයෙකු ලෙස හඳුන්වා දීමට උත්සහ කර ඇති බවත්, මේ තුළින් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් ඔහුගෙන් අය කර දෙන ලෙසත් ඉල්ලා අනුර කුමාර දිසානායක විසින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි.

මෙම පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකාර අනුර කුමාර දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, පළමු වන විත්තිකාර තිස්සකුට්ටිආරච්චි විසින් පැමිණිලිකාර අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සිදුකරන ලද අදාළ ප්‍රකාශය කරුණු තහවුරු කර ගැනීමකින් තොරව සිදු කළ ප්‍රකාශයක් බවටත් එම ප්‍රකාශය තුළින් පැමිණිලිකරුට යම් හානියක් වේ නම් ඒ සම්බන්ධයෙන් තමා කොන්දේසි විරහිතව කනගාටුව පළ කරන බවටත් තිස්සකුට්ටිආරච්චි දැනුම් දී ඇති බව ය.

නඩුව සමථයකට පත්වෙයි

විත්තිකරු කොන්දේසි විරහිතව කනගාටුව පළ කිරීම හේතුවෙන් පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මෙම නඩුවෙන් ඉල්ලා තිබෙන සහන තවදුරටත් අපේක්ෂා නොකරන බවත්, මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට දෙපාර්ශවය එකඟ වී ඇති බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණයට දන්වා සිටියේ ය.

එම සමථ කොන්දේසිය යටතේ මෙම නඩුකරය සමථයට පත් කිරීමට තම සේවාදායකයා සූදානම් බවත් විත්තිකාර තිස්සකුට්ටිආරච්චි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද අධිකරණයට දන්වා සිටියේ ය.

ඒ අනුව, එම කරුණු සටහන් කර ගත් අධිකරණය අදාළ නඩුව සමථයට පත් කිරීමට නියම කළේ ය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.