උණුසුම අධික අවස්ථාවලදී ඔබ සිසිල්ව තබන හොඳම ඇඳුම් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දේශගුණික විපර්යාසවලට ස්තූතිවන්ත වන්නට වෙන කවරදාටත් වඩා නිතිපතා අත්විඳින්නට සිදුවන අධික උෂ්ණත්වය සමග ලෝකය අඛණ්ඩ අරගලයක යෙදී සිටින අවස්ථාවක, අප සිසිල්ව සිටින්නේ කෙසේ ද යන්න විමසීමේ දී අප අඳින ඇඳුම් පැළඳුම් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ.
පර්යේෂකයින් සොයා ගෙන ඇත්තේ, සුදුසු ඇඳුම් ඇඳීමෙන් වායුසමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් ඉහළ නැංවිය හැකි බව ය. එමඟින් දිගුකාලීනව සැලකිය යුතු ලෙස බලශක්තියක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති අතර මුදල් ඉතිරි කර ගැනීම මෙන් ම, හරිතාගාර වායු විමෝචනය ද අවම කර ගැනීමට හැකි වනු ඇත.
ඉතින් සිසිල්ව සිටීමට ඔබ ඇඳිය යුත්තේ මොනවා ද?
වර්ණය සහ මෝස්තරය
වර්ණය සම්බන්ධයෙන් ගත් කල, බොහෝ දෙනෙක් ගිම්හානයේදී සුදු අඳිති. මන්ද යත් කළු වර්ණය මෙන් ආලෝකය අවශෝෂණය කරනවාට වඩා සුදු පැහැයෙන් හිරු කිරණ පරාවර්තනය කරන බැවිණි.
කෙසේ වෙතත්, මෙම න්‍යාය තරමක් සංකීර්ණ වන්නේ, අප ඇඳුම්වල ඝනකම සහ එය කොතක් දුරට ශරීරයේ හැඩයට අනුකූලව [තද හෝ ලිහිල් ලෙස] පවතියි ද යන්න පිළිබඳව සාකච්ඡා කරන විට ය. ඒ, තාපය හිරුගෙන් පමණක් නොව අපගේ ශරීරයෙන් ද නිකුත් වීම හේතුවෙනි. අපගේ ශරීරයෙන් නිකුත් වන තාපය සුදු ඇඳුම්වල ගැටුණු පසු එය ආපසු අප දෙසට ම පරාවර්තනය වීම සිදු වේ.
1980 වසරේ දී, අරාබි අර්ධද්වීපයේ, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශවල වෙසෙන ආදිවාසී, අර්ධ-සංචාරක ජනතාවක් වන බෙඩුවින් ජනයා කාන්තාරය තුළ කළු වස්ත්‍ර පැළඳ සිටින්නේ මන්දැ යි සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, ගෝත්‍රික සාමාජිකයන් කළු හෝ සුදු වර්ණයෙන් යුක්ත සළුවලින් සැරසී සිටිය ද තාපයට නිරාවරණය වීමේ වෙනසක් නොමැති බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එය සිදුවිය හැක්කේ කෙසේ ද?
කළු පැහැති රෙදිපිළි වඩා ත් හොඳ තාප විකිරකයන් ය. එයින් අදහස් වන්නේ, එය ශරීරයෙන් පිටවන තාපය අවශෝෂණය කර ගැනීම ය. එබැවින් ඊට ඔබේ ශරීරය සිසිල් කිරීමේ භූමිකාව ද ඉටු කළ හැකි ය. බෙඩුවින් ජනයාගේ රහස නම්, විශේෂයෙන් සුළං සහිත කාලවල දී ලිහිල් කළු ඇඳුම් ඇඳීම ය. ලිහිල් කළු ඇඳුම්, රෙදි සහ සම අතර ඇති අවකාශය උණුසුම් කරන අතර චිමිනියක මෙන් ඉහළට වායු ධාරාවක් ගමන් කරවීමට උපකාරී වේ. එමඟින් ශරීරයට සිසිලසක් දැනීම සිදු වේ.
"උණුසුම් කාන්තාරයක නිරාවරණය වී සිටින බෙඩුවින් ජනයා විසින් ලබාගනු ලබන තාප ප්‍රමාණය ඔවුන් කළු සළුවක් පැළඳ සිටිය ත් සුදු සළුවක් පැළඳ සිටිය ත් සමාන යි," අධ්‍යයනය පෙන්වා දෙයි. "කළු වස්ත්‍රයෙන් අවශෝෂණය කර ගන්නා අමතර තාපය සමට ළඟාවීමට ත් පෙර නැති වී යනවා," යනුවෙන් එහි සඳහන් වේ.
එබැවින් ඇඳුමේ වර්ණයට වඩා එය ශරීරයේ හැඩයට කෙතරම් අනුකූල ද යන්න සත්‍ය වශයෙන් ම වැදගත් ය. කෙසේ වෙතත්, ඔබ ශරීරයට තද ඇඳුම් ඇඳීමට යන්නේ නම් සුදු පැහැය වඩා ත් උචිත ය. ක්‍රීඩා කිරීමේ දී අඳිනු ලබන පෝලෝ කමිස සඳහා බොහෝ අවස්ථාවල දී භාවිතා කරන රෙදි වර්ගයක් වන සියර්සකර් හෝ පීක් වැනි ස්වභාවයක් සහිත රෙදි ශරීරයට ඇලී පවතිනවාට වඩා ඔබේ සම සහ රෙදි අතර පරතය පවත්වාගෙන යාමට උපකාරී වේ.
යොදා ගන්නා අමුද්‍රව්‍යයට වැදගත් තැනක් හිමි වේ
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ඔබේ රෙදි තෝරාගැනීම ඉතා වැදගත්," මෝස්තර ශිල්පිනියක මෙන් ම විලාසිතා පිළිබඳ රචිකාවියක වන හෙදර් නිව්බර්ගර් පවසයි. "ඔබ විශාල ප්‍රමාණයේ ඩෙනිම් ජම්ප් සූට් එකක් නම් ඇඳගෙන ඉන්නේ, ගෝස් හෝ ෂිෆොන්වලින් නිම කළ, ශරීරයට තද ඇඳුමකින් සැරසී ඉන්න ඔබේ මිතුරාට වඩා ඔබට උණුසුමක් දැනේවි."
ශරීරයේ හැඩයට කොතෙක් දුරට අනුකූල වනවා ද යන්න සම්බන්ධයෙන් ගත් කල, කපු සහ සිල්ක් වැනි අමුද්‍රව්‍යයකින් සාදන ලද රෙදි ගොතන රෙදිවලට වඩා සාමාන්‍යයෙන් ලිහිල් බවක් ගෙන දෙයි. මෙය වාතයේ තෙතමනය වැඩි අවස්ථාවලදී ඉතා වැදගත් වේ. නමුත් වියළි පරිසරයක් ඇති අවස්ථාවකදී දහඩිය උරා ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ, එවිට දහඩිය උරාගෙන එය උණුසුම වැඩි අවස්ථාවලදී යළි වාෂ්ප වී යන නිසා ය. තෙත් බව සහ උණුසුම් බව යන දෙක ම ඇති අවස්ථාවක, ඔබ අවට ඇති වාතය ජල වාෂ්පවලින් සංතෘප්ත වී තිබේ. ඉන් අදහස් වන්නේ, ඔබ ඇඳ සිටින ඇඳුම් මඟින් උරා ගත් දහඩියට ගමන් කිරීමට තැනක් නොමැති බව ය.
"ඇඳුම් සම්බන්ධයෙන් ගත් විට, දහඩිය වාෂ්ප වීම අවහිර නොවන පරිදි ජල වාෂ්ප ගමන් කිරීමට ඉඩ සලසන රෙදි වර්ගයක් යොදා ගැනීම වඩා ත් සුදුසු යි," අග්නිදිග ලුසියානා විශ්වවිද්‍යාලයයේ භෞතික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය රෙට් ඇලේන් පවසයි. "ඇතැම් ක්‍රීඩා ඇඳුම් නිර්මාණය කිරීමේදී යොදා ගන්නා නව අමුද්‍රව්‍යවලින් මෙය ඉටු වෙනවා. ඒ සඳහා කපු යොදා ගැනීම එතරම් සාර්ථක නැහැ."
සියලු ම රෙදිපිළි ශරීරයෙන් නිකුත් කෙරෙන අධෝරක්ත කිරණ යම් ප්‍රමාණයකට ග්‍රහණය කර ගන්න අතර එය සීතල කාලගුණයක දී අප උණුසුම්ව තබා ගැනීමට උපකාරී වේ. නමුත් උණුසුම් දිනයක දී එය සුදුසු නොවන අතර ශරීරයත් ඇඳුමත් අතර වාතයට ගමන් කළ හැකි ඇඳුම් ඇඳීම වැදගත් වේ. ස්වභාවික කපු, ලිනන්, නයිලෝන් සහ පොලියෙස්ටර් යන සියල්ල ම යම් දුරකට එවැනි රෙදි ලෙස වර්ගකර ඇත. ඉන් අදහස් වන්නේ, දහඩිය සහ තාපය එම අමුද්‍රව්‍ය හරහා පිටවීමට ඉඩ සලසන බව ය. ඒවා, සක්‍රීයව ශරීරයෙන් ජලය උරා ගන්නා රෙදි වර්ගවලට වඩා වෙනස් ය.
කපු සහ පොලියෙස්ටර් ඒවා සමග ගැටෙන අධෝරක්ත කිරණවලින් බහුතරයක් - ආසන්න වශයෙන් 99%ක් - අවශෝෂණය කර පරාවර්තනය කරයි. එනම්, ඒවා බොහෝ විට අධෝරක්ත කිරණ භාවිතයෙන් ලබා ගන්නා ඡායාරූපවල සුදු පැහැයෙන් දිස් වෙයි. නමුත් මෙම ද්‍රව්‍ය දෘශ්‍ය ආලෝකයෙන් 30-40% ප්‍රමාණයක් ඒවා හරහා යාමට ඉඩ සලසයි. මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (එම්අයිටී) පර්යේෂකයන්ට අනුව, මෙම සංයෝජනය වෙනත් ආකාරයකින් සිදු වනවාට වඩා වේගයෙන් ශරීරය උණුසුම් වීමට හේතු විය හැකි ය. මෙය සිදුවන්නේ, ශරීරය විසින් ජනනය කරනු ලබන අධෝරක්ත කිරණ ලෙස පිටවිය නොහැකි තාපය, පැමිණෙන දෘශ්‍ය ආලෝකයට ජනනය කළ හැකි නිසා ය.
නමුත් ශරීරයේ ඇති අනෙකුත් සිසිලන යාන්ත්‍රණය, එනම් දහඩිය දැමීමේ ක්‍රියාවලිය ද යම් භූමිකාවක් ඉටු කරයි. කපු, තෙතමනය අවශෝෂණය කර ගන්නා නමුත් ඉක්මනින් වියළීම සිදු නොවෙයි. එබැවින් ඔබට අධික ලෙස දහඩිය දමන්නේ නම් ඔබේ ඇඳුම් තෙත් වන අතර, ඒවා ඇඳ සිටීම තරමක් ආපහසු කාර්යයක් වනු ඇත. ලිනන් එහි ඇති විශාල තන්තු හේතුවෙන් විශිෂ්ට ලෙස ශරීරයත් ඇඳුමත් අතර වාතය ගමන් කිරීමේ හැකියාව ඇති කරන බැවින් බහුලව අඳින නමුත්, කපු මෙන් එය වියළීමේදී මන්දගාමී වේ. මෙරිනෝ වූල් රෙදි එළිමහනේ කාලය ගත කිරීමට කැමත්තක් දක්වන අය අතර ජනප්‍රිය තේරීමක් වී ඇත්තේ, ඊට ශරීරයත් ඇඳුමත් අතර වාතය ගමන් කිරීමේ හැකියාව ඇති බැවින් සහ ගන්ධයක් ඇති කිරීමකින් තොරව තෙතමනය උරා ගන්නා බැවිණි.
නයිලෝන් සහ පොලියෙස්ටර් බොහෝ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් යොදා ගන්නා ඇඳුම් සඳහා භාවිත වන්නේ, ඒවා තෙතමනය ඉවත් කර ඉක්මනින් වියළී යන බැවිනි. නමුත් ඒවා ගන්ධය රඳවා ගනියි. නයිලෝන්වලට පොලියෙස්ටර්වලට වඩා තෙතමනය අවශෝෂණය කර ගැනීමේ ඉහළ හැකියාවක් සහ තෙතමනය උරා ගෙන එය පුළුල් ප්‍රදේශයක් කරා පැතිරවීමෙන් වාෂ්පීකරණය ඉක්මන් කරවීමේ හැකියාවක් ඇති නමුත්, වියළීමට ප්‍රමාද වන බව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. නයිලෝන් සහ පොලියෙස්ටර් වැනි කෘත්‍රිම තන්තුවලින් සාදන ලද ඇඳුම් තෙත් වූ විට අපහසුතාවක් දැනිය හැකි අතර, එක් අධ්‍යයනයක් යෝජනා කළේ උණවලින් සාදන ලද ඇඳුම් ඇඳීම ය. එහි තාප සන්නායකතාව පහළ මට්ටමක පවතින නමුත් සුවපහසු බව අහිමි නොකරයි.
"ඔබට ඇත්තට ම සිසිල්ව සිටීමට අවශ්‍ය නම්, ඇඳුම් සම්පූර්ණයෙන් ම ගලවා දමන්න - එය සුදුසු නම් පමණක්," එක්සත් රාජධානියේ ලෙස්ටර්ෂයර්හි ලෆ්බරා විශ්වවිද්‍යාලයයේ පාරිසරික කායික විද්‍යාව සහ ශ්‍රමක්ෂමතා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝර්ජ් හැවනීත් පවසයි. ඇඳුම් ඔබේ සම පිළිස්සීමෙන් ආරක්ෂා කරයි. නමුත් නිරුවතින් සිටීම සිසිල්ව සිටීමට වඩා ත් සුදුසු ය. ඔබ අඳින ඇඳුම් ගණන අඩු වීම යනු, ඔබේ සම සහ වාතය අතර වාෂ්පීකරණ තාප හුවමාරුව සඳහා වැඩි අවස්ථාවක් ලැබීම ය. එසේ වුව ද ඇත්ත වශයෙන් ම, පාරජම්බුල කිරණවලින් ඔබේ සම ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛතාව ලබා දිය යුතු කාරණාවකි.
නමුත් ශරීරය සිසිල් කිරීමට උපකාර වන නව අමුද්‍රව්‍ය සහ රෙදි වැනි විකල්ප තිබිය හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නව විද්‍යාව
නයිකි සහ අඩිඩාස් වැනි ක්‍රීඩා සමාගම් ස්මාර්ට් රෙදිපිළි නිර්මාණය කිරීම සඳහා මිලියන ගණනක් ආයෝජනය කරන අතර ශරීරය සිසිල්ව තබා ගැනීමට වඩා හොඳ රෙදි මොනවාදැ යි සොයා බැලීමට විද්‍යාඥයෝ ද සම්පත් මහා පරිමාණයෙන් යොදවමින් සිටිති.
වඩා ත් ඵලදායී ලෙස ශරීරයෙන් තාපය විමෝචනය වීමට ඉඩ සැලසීමට අත්‍යවශ්‍ය වන, දෘශ්‍ය ආලෝකය විනිවිද නොයන අමුද්‍රව්‍යයකට අවශ්‍ය ගුණාංගවල සංයෝජනය කෙසේ විය යුතු ද යන්න එම්අයිටීහි විද්‍යාඥයෝ සොයා ගත්හ. හිරු එළිය පරාවර්තනය කරන අවශෝෂණය කර නොගන්නා නමුත් අධෝරක්ත කිරණ විනිවිදව ගමන් කරන, අමුද්‍රව්‍යය සහ සම අතර සිරවීමට වඩා තාපය ශරීරයෙන් පිටවීමට ඉඩ සැලසීම ඇතුළු ගුණාංග ඒ අතර වෙයි. මයික්‍රොමීටරයක් පමණ විෂ්කම්භයකින් යුත් නයිලෝන් සහ පොලියෙස්ටර් තන්තු තුනී කර ඒවා මයික්‍රොමීටර 30ක ඝනකම නූල් බවට පත් කිරීමෙන් එය අඳින පුද්ගලයාට වඩා ත් සුවපහසු උෂ්ණත්වයක් පවත්වා ගත හැකි බව ඔවුහු සොයා ගත්හ.
එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයයේ විද්‍යාඥයින් විසින් වෙනත් අමුද්‍රව්‍ය අලේප කරන ලද කෘත්‍රිම තන්තු ද නිපදවා ඇති අතර, ඒවා බාහිර තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා සත්‍ය වශයෙන් ම ඒවායේ ව්‍යුහය වෙනස් කර ගැනීම සිදු කරයි. එනම්, උෂ්ණත්වය ඉහළ යන විට වැඩි තාපයක් නිකුත් කරයි. මෙම පරිසර තත්ත්වයට අනුවර්තනය වීමට හැකියාව ඇති නූල් ප්‍රසාරණය සහ සංකෝචනය වීම සිදු වන්නේ තන්තු අතර ඇති අවකාශය වෙනස් කරමිනි. පුළුල් පරතරයක් ඇති රෙදිපිළි තුළට මනා වාතාශ්‍රයක් ලැබෙන අතර තාපය විමෝචනය කිරීමට ඉඩ සලසයි. එවිට එය ඇඳ සිටින තැනැත්තාට සිසිල් බවක් ගෙන දිය හැකි ය.
තව ත් කණ්ඩායමක් ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කට (3.6F) වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීම සඳහා පැතලි ස්වභාවයට පත් වන සහ නැමෙනසුලු බවක් ගන්නා නම්‍යශීලි පටි සහිත ඇඳුම් භාවිත කර අත්හදා බැලීමක යෙදුනහ. උණුසුම් කාලගුණයකදී එම පටි වාතය දෙසට නැමී, ශරීරයෙන් තාපය විසුරුවා හරියි. "පවතින ස්වභාවය වෙනස් කර ගත හැකි" [ඝන සිට ද්‍රවමය ස්වභාවයක් දක්වා හෝ ප්‍රතිලෝම වශයෙන්], අතිරික්ත තාපය අවශෝෂණය කර ගැනීමට උපකාරී වන, උණුසුම් වන විට දියවන කැප්සියුල හෝ කෙඳි අඩංගු අමුද්‍රව්‍ය පිළිබඳව අනෙක් කණ්ඩායම් පර්යේෂණයක යෙදුනහ.
තෙත් ඇඳුම්
ඇතැම් විට ඇඳුම් සම්බන්ධයෙන් ගත් කල, උණුසුම් කාලගුණයක් තුළ සිසිල්ව සිටීමට ඇති හොඳ ම ක්‍රමය ඇත්ත වශයෙන් ම තෙත් ඇඳුම් ඇඳීම බව ඇලේන් පෙන්වා දෙයි. ජලය වාෂ්ප වීමට තාප ශක්තිය අවශ්‍ය වන අතර, එය ද්‍රවයක සිට වායුවකට මෙම සංක්‍රමණය වීම සිදු කරන විට, එය ඔබේ ශරීරයෙන් නිකුත් වන තාපය භාවිත කරයි. එමඟින් ඔබේ සම සිසිල් කර ඔබේ ශරීර උෂ්ණත්වය අඩු කරයි.
එබැවින් සිසිල්ව සිටීමට ඇඳුමක් තෝරා ගැනීම හුදෙක් සුදු පැහැති කමිසයක් ඇඳීමට වඩා තරමක් සංකීර්ණ බව පෙනෙයි. නමුත් නිවැරදි, ශරීරයේ හැඩයට ගැලපෙන ඇඳුම් සහ හැකි අවස්ථාවලදී විටින් විට ජලය ඉස ගැනීම, ඉහළ යන ඔබේ උෂ්ණත්වය අඩු කර ගනීමට උපකාරී වේ. එය වායුසමීකරණය සඳහා වැය වන පිරිවැය ද අවම කරයි.












