පෝලිමකට යනකොට වතුර බෝතලයක් රැගෙන යන්න

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය පැය 72 තුළ ඉන්ධන පිරිවුම්හල් ආශ්‍රිතව පුද්ගල මරණ හතරක් වාර්තා විය. ඉන් එක් මරණයක් බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුවූ ඝාතනයකි.
ඉන්ධන ලබාගැනීමේ දී සිදුවූ ආරවුලක් මත මෙම යතුරුපැදිකරුවා ඝාතනය කළ ත්‍රීරෝද රථ රියැදුරා සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 14 පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
මාර්තු 20 රාත්‍රී කාලයේ දී හොරගොල්ල ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථ රියැදුරෙකු හා යතුරු පැදිකරුවෙකු අතර ආරවුලක් ඇතිව තිබේ.
පොලීසිය පැවසුවේ ත්‍රීරෝද රථ රියැදුරු ඉන්ධන ගෙන පිටවගොස් මඟ රැක සිට, පිරවුම්හලෙන් පිටවී එතැන පසුකර යමින් සිටි යතුරුපැදිකරුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව යි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
සෙසු මරණ ත්‍රිත්වය වාර්තා වූයේ පෝලිම්වල සිටිය දී බිම ඇද වැටීමෙනි.
පසුගිය 19 වැනිදා මහනුවර ඉන්ධන පෝළිමක සිටි පුද්ගලයෙකු බිම ඇද වැටීමෙන් මියයෑම මෙහි පළමු මරණය ලෙස වාර්තා විය. මෙලෙස මියගියේ 71 හැවිරිදි පුද්ගලයෙකි.
කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයකු මාර්තු 20 දා දහවල් ඇදවැටී මිය ගියේ ය. පොලීසිය ප්‍රකාශ කළේ පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝළිමක සිටි අයෙකු එලෙස ඇදවැටී මියගොස් ඇති බව යි.
ඇදවැටුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇතැ යි පොලීසිය සඳහන් කළේ ය.
70 හැවිරිදි එම පුද්ගලයා මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාර්තු 21දා මීරිගම නගරයේ ඉන්ධන පිරිවුම්හලක ඉන්ධන ලබා ගැනීමට පැමිණි 76 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ ඇදවැටීම හේතුවෙන් මියගියේ ය. ඔහු හෘදයාබාධයකින් මියයන්නට ඇතැ යි සැක කරන බව පොලීසිය පවසයි.
ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටිය දී ඇදවැටී මියගිය තෙවැන්නා ඔහු ය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න ප්‍රකාශ කරන්නේ දැඩි අව්වට නිරාවරණය වීම නිසා විජලනය වීම මෙවැනි තත්ත්වයන්ට හේතු විය හැකි බව යි.
"ලොකුම ප්‍රශ්නය වතුර. අව්වේ හිටගෙන ඉන්නකොට ආවරණයක් නැහැ. අව්වෙදි විජලනය, නැත්නම් ඩීහයිඩ්රේෂන්, වෙන්න පුළුවන්."
"ඒගොල්ලෝ වතුර බෝතලයක් අරන් යන්න ඕනේ. දන්සැල් වගේ වතුර ලබාදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕනේ. වාහනවල හිටියත් ඔය ප්‍රශ්නය වෙන්න පුළුවන්. එන්ජින් ඕෆ් කරලානේ තියෙන්නේ. AC දාල නැහැනේ," මහාචාර්යවරයා කියා සිටියේ ය.
"ප්‍රධානම අවවාදය තමා, විජලනය වෙන්නේ නැතිවෙන්න වතුර බොන්න. යනකොට වතුර බෝතලයකුත් අරගෙන ගිහිල්ලා පුළුවන් තරම් වතුර බොන්න."
"වෙනත් රෝගී තත්ත්වයක් නැති කෙනෙක්, නීරෝගී තරුණ අයෙක් වුණත් විජලනය හොඳ නැහැ. පුළුවන් තරම් වතුර බොන්න ඕනේ. සමහර අය වැසිකිළි - කැසිකිලි යන්න වෙයි කියලා වතුර බොන්නේ නැහැ. මාස්ක් එක ගලවන්න වෙන නිසා වතුර බොන්නේ නැහැ. නමුත් එය හොඳ දෙයක් නොවෙයි," ඔහු ප්‍රකාශ කළේ ය.












