ආනයන සීමා පැනවූ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 මොනවාදැයි ඔබ දන්නවාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විනිමය කළමනාකරණ පියවරක් වශයෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම, බලපත්‍ර පාලනයට නතු කිරීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව අද පියවර ගත්තේය.ඒ අනුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය ,සීමා කිරීමට රජය පියවර ගෙන තිබේ.
ආනයනය කිරීම බලපත්‍ර පාලනයට නතු කළ භාණ්ඩ ලැයිස්තුව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් අද ( මාර්තු 9) ගැසට් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අත්සනින් නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, හෙට (මාර්තු 10) හෝ හෙට දිනයෙන් පසුව මෙරටට ගෙන්වන ලබන අදාළ භාණ්ඩ බලපත්‍ර පාලනයට නතු වන බවයි.
ක්‍රමවේද තුනක් යටතේ කෙටි කලකට ආනයන සීමා
වත්මන් ආර්ථික තත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට ආනයන සීමා කිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මහබැංකු නිර්දේශ අනුව ක්‍රමවේද තුනක් යටතේ ආනයන සීමා ක්‍රියාත්මක කෙරන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
පළමු ක්‍රමවේදය යටතේ ඇතැම් තෝරාගත් ආනයනික භාණ්ඩ සඳහා බදු පනවනු ලැබේ. දෙවැන්න යටතේ ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කෙරේ. තුන්වන ක්‍රමවේදයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ වලට බදු හා බලපත්‍ර පැනවීමට පියවර ගැනේ.
රටේ පවත්වනා ආර්ථික තත්ත්වය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරමින් වඩා යහපත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට ආනයන සීමා කිරීමේ ක්‍රමෝපායන් ඉවහල් වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් විශ්වාසය පළ කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන කළේය.
ආනයනය සීමාවන භාණ්ඩ
- මස් හා මාළු නිෂ්පාදන
- කිරි ආශ්‍රිත නිෂ්පාදන
- පළතුරු
- පිටි ආශ්‍රිත නිෂ්පාදන
- සකස් කරන ලද ආහාර
- චොකලට්
- පැස්ටා වර්ග
- මත්පැන් හා බීම වර්ග
- දුම්වැටි ඇතුළු දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන
- සුවඳ විලවුන් ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන
- මුඛ සෞඛ්‍යයට අදාළ නිෂ්පාදන
- ඉටිපන්දම් හා ලාම්පු වර්ග
- රබර් ආශ්‍රිත නිෂ්පාදන
- ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන
- ගමන් මළු
- හම් ආශ්‍රිත නිෂ්පාදන
- කාපට්
- ඇගළුම් හා ආශ්‍රිත නිෂ්පාදන
- පාවහන්
- හිස්වැසුම්
- කුඩ
- පනා
- සෙරමික් නිෂ්පාදන
- වීදුරු නිෂ්පාදන
- විදුලි නොවන ගෘහස්ත උපකරණ
- මුළුතැන්ගේ උපකරණ
- ගෘහ භාණ්ඩ
- විදුලි උපකරණ
- පරිගණක උපකරණ
- ඇස් කණ්නාඩි
- ඔරලෝසු
- සංගීත භාණ්ඩ
- සෙල්ලම් බඩු
මේ යටතේ මිදි, ඇපල්, දොඩම්, නාරං, පෙයාර්ස් සහ රට ඉඳි ආනයනයට බලපත්‍ර ලබා ගත යුතුය. මීට අමතරව චොකලට්, කිරි, යෝගට් ඇතලු ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහාද බලපත්‍ර අවශ්‍ය වනු ඇති.
විස්කි, ජින්, වොඩ්කා , බීර ඇතුලු විදේශීය මත්පැන් ද බලපත්‍ර මත ආනයන පාලනයට නතු කර තිබේ.











