දියේ ගිලී අනතුරට පත්වීමෙන් වැළකීම සඳහා මේ කරුණු ගැන ඔබ දැනුවත් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අමන්දා අබේසූරිය
- Role, බීබීසී සිංහල
සාමාන්‍යයෙන් වසරකට ශ්‍රී ලාංකිකයෝ 800 - 1000ක් අතර පිරිසක් දියේ ගිලීමෙන් මියයති.
දියේ ගිලීම හේතුවෙන් යමෙකුගේ මරණය සිදු නොවූව ද, මොළයට ඔක්සිජන් ලැබීම අඩුවීම හා වෙනත් හේතූන් නිසාවෙන් මාරාන්තික නොවන නමුත් දිගුකාලීන ආබාධ ඇතිවීමේ සම්භාවිතාව ද විශාල ය.
"දියේ ගිලීමක් කියනකොට අපි හිතන්නේ මේ අඩි ගණන්, එහෙම නැත්නම් ගැඹුරු වළවල් තියෙන්න ඕනෙ, ගැඹුරු වතුර තියෙන්න ඕන කියලා. එහෙම නෑ. අඩියක් වුණත් ඇති, වතුර චුට්ටක් තිබ්බොත් ඇති දියේ ගිලීම කියන එකෙන් ඇතිවන ගැටලු සිද්ධවෙන්න," සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ, අනතුරු නිවාරණය සහ කළමනාකරණය පිළිබඳ අංශයේ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග අප වෙත පවසයි.
දූපත් ජාතියක් වන අපෙන් සැලකිය යුතු ජන සංඛ්‍යාවක් දිනපතා දියේ ගිලීම නිසා මියයන්නේ ඇයි?
අවදානම ඇත්තේ ගඟේ මුහුදේ පමණක්ම නොවේ
දියේ ගිලීම ඕනෑම තැනක දී සිදුවිය හැකි ය. මේ සඳහා මුහුද හෝ වැවක් හෝ ගංගාවක් වැනි විශාල, ගලා යන ජලතලයක් තිබීමම අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ දියේ ගිලීමෙන් සිදුවන මරණවලින් 18%ක් ළිංවල ගිලීයෑම නිසාවෙන් සිදුවෙයි.
මෙවන් මරණයන් සිදුවීම සඳහා හේතු කීපයක් බලපාන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග අප වෙත පහදා දෙයි.
"එකක් තමයි, අපි [දියේ ගිලීමේ අවදානම සහිත] තැන් කොයි විදියට ආරක්‍ෂිත කරලා තියෙනවා ද කියන එක. දෙක තමයි, ආරක්‍ෂිත කරලා තිබ්බට - නීති රීති තියෙනවා, නමුත් අපි කොයි විදියට ද නීති රීති පාවිච්චි කරන්නේ කියන එක. තුන්වෙනි එක තමයි, අපි කීදෙනෙක් දැනුවත් වෙලා තියෙනවා ද හෝ, දැනුවත්වුණත් කොච්චර දුරට ඒ නීතිරීතිවලට අවනත වෙනවා ද කියන එක.
"උදාහරණයක් බලන්නකො. සමහර තැන්වල 'මෙතන නාන්න එපා', 'මෙතෙන්ට බහින්න එපා' කියලා තිබ්බත්; ඊළඟට සමහර වෙලාවට අපි මුහුදේ එහෙම, ගංගා ඇළ දොළේ, වැව්වල එහෙම ලකුණු කරලා තියෙනවානේ 'මෙන්න මේ තැන්වල නාන්න යන්න එපා' කියලා, එක්කෝ 'මෙතැනින් එහාට යන්න එපා' කියලා. අපේ අය ගොඩක් වෙලාවට කරන වරදක් තමයි ඒ තැන්වල ඒ සීමාවන් ඉක්මවා යන එක," ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයා පවසයි.
මෙහිදී, දියේ ගිලීමෙන් අනතුරු සිදුවීමේ දී මූලිකව බලපාන්නේ නොසැලකිල්ල, අනතුර පිළිබඳ දැනුවත්බව අවමවීම සහ දැනුවත්බවක් තිබුණ ද ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවීමබව විශේෂඥ වෛද්‍යවරයා අප වෙත පැවසීය.

දරුවන්ගේ මාරයා
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජලාශ හා මුහුදේ නෑමටගොස් මියගිය සිදුවීම් වාර්තාවුව ද, බොහෝකොටම දරුවන් සඳහා අවදානම ඇත්තේ නිවෙස් ආශ්‍රිතවම විය හැකි ය.
"ගෙවල් ආශ්‍රිතව සාමාන්‍යයෙන් දියේ ගිලීමේ අනතුරු ගොඩක් සිද්ධවෙනවා," ප්‍රජා වෛද්‍ය විශේෂඥ සිරිතුංග පවසයි. "එකක් තමයි, අපි හිතමු අනාරක්ෂිතව තියෙන ළිං තියෙනවා - ඒ කියන්නේ වැටක් ගහන්නේ නැතුව තියෙන ළිං තියෙනවා... ඊට පස්සේ අපි එක එක දේවල් සඳහා වලවල් හාරනවා. ගඩොල් [කපන්න] වෙන්න පුළුවන්, වැසිකිළි වලවල් වෙන්න පුළුවන්, මෙන්න මේ වගේ දේවලුත් තියෙනවා ගෙවල් ආශ්‍රිතව. ඉතින් මේවයෙ වතුර පිරුණට පස්සෙ, ඇත්තටම දියේ ගිලීමක් වෙන්න පුළුවන් නේ.
"ඊළඟට, සමහර වෙලාවට අම්මලා පොඩි අයව නාවලා තව පොඩි එක්කෙනෙක්ව තියලා යනවා නංගිව හරි මල්ලිව හරි බලාගන්න කියලා. වතුර එකත් එක්ක තමයි තියලා යන්නෙ. මේ ලොකූ ප්‍රමාණයක් වතුර ඕනෙ නෑ, පුංචි ප්‍රමාණයක් වතුර තිබ්බම ඇති - අපි කියන්නේ නහය 'පොව්වන්න' කියලා. ඕකෙ ඔළුව දාගත්තොත් මොකද වෙන්නේ? - ඒකත් දියේ ගිලීමක්."
ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු හේතුවෙන් මියයන වයස 1 - 14 අතර දරුවන්ගෙන් වැඩිම පිරිසකගේ මරණයට හේතුවී ඇත්තේ දියේ ගිලීම යි.
"ගෘහාශ්‍රිතව සිදුවෙන අනතුරුවල සම්පූර්ණ වගකීම තියෙන්නෙ ගෙදර අයට. අනාරක්ෂිත ළිඳක් තියෙනව නම්, වතුර වලක් තියෙනවා නම්, එහෙම නැත්නම් පොඩි එක්කෙනාව තවත් චූටි එක්කෙනෙක්ට දාලා යනවා නම්, මාළු ටැංකිවල, අනික ගෙවල්වලත් තියෙනවනේ මල් වවන පුංචි පුංචි පොකුණු, වතුර දාලා නෙලුම් මල් එහෙම දාලා තියෙන [බේසම්] එහෙම. අපි ගිහිල්ලා මුලින්ම ළමයින්ට පෙන්නනවා 'ආ මේකෙ මාළු ඉන්නවා, මල් තියෙනවා' කියලා. එතකොට මොකද වෙන්නේ? ළමයි තනියෙම ඉන්නකොටත් ඒවා බලන්න කැමතියි නේ," විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය.
නිවෙස් ආශ්‍රිතව සිදුවෙන දියේ ගිලීම් වැළක්වීමේ ක්‍රමය නම්, අන්තරායකර ස්ථානයන්ට ප්‍රවේශය ඇහිරීමබව ඔහු කියා සිටියි.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
තරුණ ජවය හා අධිතක්සේරුව භයානක ය
සංඛ්‍යාලේඛනවලට අනුව, ලොව පුරා දියේ ගිලී මියයන බහුතරය වයස අවුරුදු 1 - 4 අතර දරුවන්වුව ද, ශ්‍රී ලංකාවේ දී මෙවන් මරණයන්ට වැඩි වශයෙන් ගොදුරුවන්නේ අවුරුදු 20න් ඉහළ තරුණ හා වැඩිහිටි කණ්ඩායම යි.
"අවුරුදු 20 - 40 අතර [ගිලී මියයෑම] ගොඩක් වැඩියි. ඒකට එක හේතුවක් හැටියට අපි දකින්නේ අර - සමහර වෙලාවට තරුණ ජවය වෙන්න පුළුවන්, යාලුවොත් එක්ක වෙන්න පුළුවන්, ඒගොල්ලො හිතන්න පුළුවන් 'අපි ආරක්‍ෂිත යි' කියලා. අධිතක්සේරුවක් නිසාත් වෙන්න පුළුවන්," විශේෂඥ වෛද්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයින් දියේ ගිලී මියයෑම 3.5 ගුණයකින් ඉහළබව, ශ්‍රී ලංකාවේ ජීවිතාරක්ෂක සංගමය 2020 දී නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.
දියේ ගිලීම නිසා දිනකට ශ්‍රී ලංකාවට අහිමිවන ජීවිත ගණන තුනකි. ශ්‍රී ලංකාවේ ජීවිතාරක්ෂකයින් වසරකට ජීවිත 300කට වැඩි ගණනක් එම ඉරණමෙන් ගලවාගන්නාබව ද අප සිහිතබාගත යුතු ය.
නොසැලකිල්ල හා අපරික්ෂාකාරීබව මරණය කැඳවිය හැකි ය
දියේ ගිලී සිදුවන මරණ බොහොමයකට හේතුවී ඇත්තේ නොසැලකිල්ල හා අපරික්ෂාකාරීබවයැ යි පෙනෙන්නට තිබේ.
"මුහුදේ, ගංගා ඇළදොළ, වැව් පොකුණු, දියඇලිවල වතුරේ හැසිරීම අපි දන්නවා ද? ගොඩක් වෙලාවලට [ජලාශවල සහ මුහුදේ ගිලී] අනතුරට පත්වෙන්නේ ගමේ කට්ටිය නෙවේනෙ, පිටින් යන කට්ටිය. පිටින් යන කට්ටිය මේවා ගැන කිසිම තක්සේරුවක් දන්නේ නෑ. ගොඩක් වෙලාවට [ඒ ගැන] අහන්නෙත් නෑ කට්ටියගෙන්," වෛද්‍යවරයා කරුණු පෙන්වාදෙයි.
එසේම, ස්නානය සඳහා සුදුසුයැ යි ලකුණුකර ඇති ස්ථානයන්ගෙන් ඉවතට ගොස් ජලයට පිවිසීම ද මෙවැනි අනතුරුවලට හේතුවෙයි. "අපෝ මෙතන හුඟක් අය නානවනෙ, අපි වෙන තැනකින් නාමු කියලා කට්ටිය යනවා. නමුත් එතන තියෙන අවදානම ගැන ඒගොල්ලන්ට අවබෝධයක් නෑ," ඔහු පවසයි.
මීට අමතරව, පිහිනීමේ හැකියාවක් නොමැතිකම ද මෙවන් මරණයන්ට හේතුවී ඇතැ යි ඔහු කියා සිටියි.
ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර මේ සම්බන්ධයෙන් මෙසේ පවසයි: "විශේෂයෙන්ම [නාන්න] වතුරට බහින්න කලින්, ජීවිතාරක්ෂකයෝ [එතැන] නැත්නම්, ගම්වාසීන්ගෙන් අහන්න. ඔවුන් දන්නවා."
එසේම, අනතුරක් සිදුවුවහොත් ක්‍රියා කළ යුතු ආකාරය දියට බැසීමට පෙර සිටම සැලසුම්කර තබාගත යුතුබව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවේ ජනතාව අතර ජීවිතාරක්ෂක ජැකට්ටු පැළඳීම සම්බන්ධයෙන් දුර්මත ඇතැ යි ජීවිතාරක්ෂක සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කළේ ය.
"ලංකාවෙ ජනතාවගෙ අතර මතයක් තියෙනවා ලයිෆ් ජැකට් එකක් අඳින්නෙ පීනන්න බැරි කෙනෙක් කියලා. ඒක සම්පූර්ණ වැරදි මතයක්. ලයිෆ් ජැකට් එකක් අඳින්නෙ මොළේ තියෙන කෙනෙක්. ඔබ ලයිෆ් ජැකට් එකක් ඇඳිය යුතුමයි අනිවාර්යයෙන්ම ඔබ මොන තරාතිරමෙ හිටියත්, ඔබ කොතරම් පිහිනුම් ශූරයෙක් වුණත්," ඔහු ප්‍රකාශ කළේ ය.

දිය වැලකට අහුවුණොත්?
මුහුදේ දී දිය වැලකට හසුවුවහොත් ඔබ නොකළ යුතුම දෙයක් වන්නේ දිය වැලට එරෙහිව පිහිනීම යි. දිය වැලට එරෙහිව සටන් කිරීමට ගොස් ශක්තිය අවසන්වුවහොත් ඔබ ගිලී යනු ඇත්තේ ය.
"කොයිම වෙලාවකවත් රිප් කරන්ට් එකක් එක්ක ප්‍රතිවිරුද්ධ අතට පීනන්න බැහැ, කොතරම් හොඳ පිහිනුම් ශූරයෙක් වුණත්... හැම තිස්සෙම ඒ දියේ ගලායෑමත් එක්ක යන්න. සමහර වෙලාවට දියඹට වෙන්නත් පුළුවන්. ගිහිල්ලා ඔබ ඒ පාවෙන විදියට පොඩ්ඩක් රැඳී ඉන්න. එතකොට තව කෙනෙක්ට ඇවිල්ලා උදව් ඉල්ලන්න පුළුවන්," නිලධාරී නානායක්කාර පැහැදිලි කළේ ය.
පීනන්න පුළුවන්වුණු පළියට බේරන්න යන්න එපා!
දියේ ගිලීමෙන් සිදුවෙන අනතුරු අතර, ගිලෙන තැනැත්තා බේරාගැනීමට යෑම නිසා දියේ ගිලීම් සිදුවූ අවස්ථා ද වාර්තා ඉඳහිට අසන්නට ලැබෙයි. මෙනිසා, යමෙකුට පිහිනීමට හැකිවුව ද ජීවිතාරක්ෂක පුහුණුවක් ලබා නැත්තේ නම්, දියේ ගිලෙන්නෙකු බේරාගැනීමට යාමේ දී ඔහු හෝ ඇය ද අනතුරට ලක්විය හැකිය.
"දියේ ගිලෙන්න යන කෙනෙක් මොකද්ද කරන්නේ? එයා බලන්නෙ කොහොමහරි බේරෙන්න. එතකොට එයා ළඟට එන මොකක් හරි අල්ලගන්න, ඒකෙ එල්ලෙන්න නේ බලන්නෙ. එහෙම වුණායින් පස්සෙ මොකද වෙන්නේ? අර බේරගන්න යන කෙනා, දියේ ගිලෙන කෙනෙක් බේරගන්න විදිය දන්නේ නැති කෙනෙක් නම්, දියේ ගිලෙන්න ගිය කෙනයි, බේරගන්න යන දෙන්නෙක් තුන්දෙනෙක් හතරදෙනෙක් එතකොට දියේ ගිලෙන්න පුළුවන්," ප්‍රජා වෛද්‍ය විශේෂඥ සිරිතුංග පැහැදිලි කරයි.
"උදව් කරන එක්කෙනාගෙ ආරක්ෂාව තහවුරුකර ගන්න බැරි නම්, කිසිම වෙලාවක අනිත් එක්කෙනාට උදව් කරන්න යන්න එපා. මොකෝ ඒකෙන් වෙන්නේ, එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් තුන්දෙනෙක් සමහර වෙලාවට අනතුරට ලක්වෙන එක."
ඒ වෙනුවට ලණුවක් හෝ ටයරයක් වැනි පාවෙන යමක් එම තැනැත්තා දෙසට වීසි කිරීමත්, අන් අයගේ උදව් පැතීමත් වඩාත් උචිතබව ඔහු පවසයි.
ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරී නානායක්කාර ලබාදෙන්නේ මෙවැනි උපදෙසකි: "ලීයක්, පොල් අත්තක් වෙන්න පුළුවන්, ටයර් එකක් වෙන්න පුළුවන්, පිඟානක් වෙන්න පුළුවන්, ඇඳුමක් වෙන්න පුළුවන්, කොළ අත්තක් වෙන්න පුළුවන්, ඔබට අසුවෙන ඕනෑම දෙයක් - අපි කියන්නේ තුත්තිරි ගහක් හරි වීසි කරන්න [වතුරට] පනින්නේ නැතුව. මොකද අපට දෙන්නෙක්ගේ ජීවිතේ නැතිකර ගන්න බැහැ."
ගලවාගත් තැනැත්තෙකු ගොඩට ගෙන ආ පසු ඔහුගේ ශ්වසනය සිදු නොවන්නේ නම්, ගිලන් රථය පැමිණෙනතුරු හෝ රෝහලට ගෙනයන තුරු CPR ලබාදිය යුතු ය. මෙහිදී, ගිලුණු තැනැත්තාගේ නාසයේ හෝ මුඛයෙහි යම් යම් දේ සිරවී ඇතිදැ යි විමසිලිමත් විය යුතු ය.
"වතුර කොයිවෙලාවකවත් මාර්ග අනතුරක් වගෙ, වාහනයක් වගෙ ඇවිත් අපිව හප්පන් යන්නෙ නෑ... අපි තමයි මේ වතුර හොයාගෙන ඇවිල්ලා අනතුරට ලක්වෙන්නේ... ඒ නිසා අපි සූදානම්වෙලා ඉන්න ඕන. වතුරත් එක්ක යම්කිසි සෘණාත්මක සංකල්පයක ඉන්න ඕන 'අනතුරක් වෙන්න පුළුවන්' කියලා. අපේ කීයෙන් කී දෙනා ද 'අනතුරක් වෙන්න පුළුවන්' කියලා වතුරක් ළඟට යන්නේ? අපි එහෙම හිතන්නෙවත් නෑ.
"අපි හිතන්න ඕන 'අද අපේ කෙනෙක් ගිලෙන්න පුළුවන්, ගිලුනොත් මොකද කරන්නේ' කියලා."












