දියේ ගිලීමෙන් සිදුවන මරණ වැඩිවීමට හේතුව නොසැලකිල්ල ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පවුලේ සාමාජිකයින්, නෑහිතවතුන් හෝ මිතුරන් සමග යන විනෝද චාරිකාවක දී සමීපතමයෙකු නොමැතිව යළි නිවෙස් බලා එන්නට සිදුවුවහොත් එය කෙතරම් ඛේදනීය ද?
පසුගිය දීර්ඝ සති අන්තයන්හි දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අසන්නට ලැබුණේ දියේ ගිලිම් හා, අනාරක්ෂිත ස්ථානවල දියනෑමට ගොස් සිදුවූ මාරක අනතුරු පිළිබඳව යි.
දියේ ගීලීමෙන් සිදුවන අනතුරු වැඩිවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසා සිටියේ, නොසැලකිල්ල සහ මත්පැන් පානය දියේ ගිලීමෙන් සිදුවන අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී ඇති බව යි.
කොවිඩ් වසංගත තත්ත්වයත් සමග වසර කිහිපයක් නිවෙස්වලට කොටුවී සිටි ජනතාව මේ වන විට ලැබෙන විවේක කාලයන් තුළ රට වටා සංචාරයේ යෙදෙති.
සති අන්ත හා දීර්ඝ සති අන්ත ආශ්‍රිතව විනෝද ගමන්, වන්දනා චාරිකා, සහ දුරබැහැර නෑහිතවතුන් හමුවීමට යෑම සුලබ තත්ත්වයක් වී ඇත.
පොලීසිය පවසන්නේ, තම ආයතනය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ පිළිබඳ අවධානය යොමුකර, දියේ ගිලීමෙන් සිදුවන අනතුරු පිළිබඳ ජනතාව දැනුවත්කළ අතර, සති අන්තවල සංචාරවල යෙදෙන අතරතුර නොදන්නා ස්ථානවල දිය නෑමේ දී ප්‍රවේශම් වන ලෙස දිගින් දිගටම ප්‍රකාශ කළ බව යි.
එසේ තිබියදීත් මෙවැනි අනතුරු සිදුවෙමින් ඇතැ යි පොලීසිය පෙන්වා දෙයි.
දියේ ගිලීම් අනතුරු වැඩි වෙන්නේ ඇයි? පනින්න පෙර සිතා බලන්න
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මෙසේ පවසා සිටියේ ය: "අනතුරු සිද්ධ වෙන්න මූලික කාරණය තමා, පුද්ගලයෙක් අලුත් පරිසරයක අත්දැකීම් ලබන අවස්ථාවක තමා බොහෝ අනතුරු සිද්ධ වෙන්නේ. තමා දන්නා පරිසරයක දෛනිකව කටයුතු කරන අතරතුර සිදුවන අනතුරු ඉතාම අවම යි. ඊට හේතුව තමා ඒ පුද්ගලයා ඒ පරිසරයට හුරුවී තිබීම. වැවක වෙන්න පුළුවන්, ගඟක වෙන්න පුළුවන්, වෙන ජලාශයක හෝ පොකුණක වෙන්න පුළුවන්. මුහුදේ වුණත් දෛනිකව නෑමට පුරුදුවෙලා තියෙන පුද්ගලයින්ට සිදුවන අනතුරු අඩු යි. මොකද ඒවා ඔවුන් දන්නා ස්ථාන, දිනපතා නෑමට පුරුදුවෙලා තියෙන නිසා. නමුත් පිටතින් පැමිණෙන පිරිස්වලට ඒ ස්ථානය පිළිබඳ, පරිසරය පිළිබඳ, ජලය පිළිබඳ, ජලයේ අවදානම් තත්ත්වය පිළිබඳ, ජලයේ ගැඹුර පිළිබඳ නිසි අවබෝධයක් මේ පුද්ගලයින්ට නැහැ."
"ඔවුන් බොහෝ වෙලාවට පදිංචි වෙලා ඉන්නේ සමහර වෙලාවට ගංගාවක්, වැවක්, ජලාශයක් නොතිබෙන ප්‍රදේශයක වෙන්න පුළුවන්. ඔවුන්ට පිහිනීම පිළිබඳ අත්දැකීම් නැහැ. ජලාශයක වතුර යටින් අපට නොපෙනෙන වෙනස්කම් ගැන අවබෝධයක් නැහැ. ඉතින් එවැනි ස්ථානවලට අනවධානයෙන්, නොසැලකිල්ලෙන් යොමුවීම නිසා තමා මෙවැනි අනතුරු සිද්ධ වෙන්නේ," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ජනතාව දියනෑම සඳහා පැමිණෙන, අවදානම් ස්ථානවල අනතුරු ඇඟවීමේ පුවරු සවිකිරීම අදාල පළාත් පාලන ආයතනවල වගකීමකි. පොලීසිය ප්‍රකාශ කළේ එවැනි හඳුනාගත් ස්ථානවල පුවරු සවිකරන ලෙස පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටින බව යි.
ජනතාව දිය නෑම සඳහා පැමිණෙන ස්ථාන අධීක්ෂණය කිරීමේ වගකීම පළාත් පාලන ආයතන වෙත පැවරෙන බව ද පොලීසිය පැවසීය.
අවදානම් පුවරු නොතකා කිසියම් පුද්ගලයෙකු අනාරක්ෂිතව හැසිරෙන්නේ නම්, එවැනි අවස්ථා පොලීසිය නොසලකා හරින්නේ නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
එහෙත් ජනතාව විනෝදවන ස්ථානයකට පොලිස් නිල ඇඳුමෙන් පැමිණ ජනතාවගේ විනෝදයකට බාධාවක් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමෙන් ඔවුන්ට හිරිහැරයක් සිදුවනු ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.
එබැවින් පළාත් පාලන ආයතන විසින් අවදානම් ස්ථානවල දැන්වීම් පුවරු සවිකිරීමෙන්ම ජනතාව මෙවැනි අවදානම් තත්ත්වයන්ගෙන් පාලනයකර ගැනීමේ හැකියාව ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Life Saving/Facebook
දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වාගත හැකියි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තල්දූව පවසා සිටියේ දියේ ගිලීමෙන් සිදුවන අනතුරු බොහොමයක් "වළක්වාගත හැකි තත්ත්වයේ" ඒවා බව යි.
"විනෝද චාරිකා ශෝකාන්තව අවසන් වෙනවා. ඒකට හේතුව තමා නොසැලකිල්ල සහ මත්පැන් පානය කිරීම. මත්පැන් පානයකර දියට බැස්සම අවදානම් සහිත යි. එවැනි අයෙකුට දියේ ගැඹුර තේරෙන්නෙ නැහැ. මත් ගතිය නිසා අවබෝධයක් නැහැ," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, දියනෑමට සුදුසු නැතැ යි අනතුරු හඟවමින් දැන්වීම් පුවරුවක් ඇති ස්ථානයන්හි කිසිසේත්ම දියනෑමට යොමු නොවන ලෙස යි.
"එවැනි දැන්වීම් පුවරුවක් එම ස්ථානයේ සවි කරන්නේ හේතුවක් ඇතිව. එය තේරුම්ගත යුතු යි," ඔහු පවසා සිටියේ ය.
"තමන් නුහුරු ප්‍රදේශයක, ජනතාව වැඩිය දිය නාන්නේ නැති ස්ථානයක දිය නානව නම්, ඇතැම්විට අවදානම් සහිත සතුන් ඉන්න පුළුවන්. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. ජනතාව නාන ස්ථානයක් වුණත් වැසි සහිත අවස්ථාවක ගඟක පහළ කොටසේ ජල මට්ටම අනපේක්ෂිතව වැඩිවෙන්න පුළුවන්. අධික වැස්ස වෙලාවට එවැනි ස්ථානවල දියනෑම නොකළ යුතු යි," ඔහු අවධාරණය කළේ ය.
"ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඔබට වෙන කෙනෙක් නැහැ බේරා ගැනීමට, ඔබ විසින්ම කල්පනාකර තේරුම්ගත යුතු යි. ඔබ තමා ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ. කණ්ඩායමක් විදිහට යනවා නම් කණ්ඩායමක් විදිහට, පුද්ගලයෙක් විදිහට එහෙම නැත්නම් පවුලක් විදිහට අවබෝධයෙන් කටයුතු කරන්න. අවධානය යොමුකරන්න, සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඔබගේ ජීවිතයත්, ඔබගේ පවුලේ, ඥාතීන්ගේ, සහෝදරයින්ගේ, මිත්‍රයින්ගේ ජීවිතයත් ආරක්ෂාවන විදිහට ඔබගේ විනෝදවීම සැලසුම්කර ගන්න කියන කාරණය තමා අවධාරණය කළ යුත්තේ," ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පවසා සිටියේ ය.
දියේ ගිලීමෙන් සිදුවු ආසන්නතම මරණ පසුගිය සතියේ වාර්තා වූයේ වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලේවල ප්‍රද්ශයෙනි. එහිදී වයස අවුරුදු 50 - 60ත් අතර පුද්ගලයින් තිදෙනෙකුට දිවි අහිමිවිය.
"මෙම ස්ථානයේ දැන්වීම් පුවරු සකස් කරලා තියෙනවා. දැනුම්දීල තියෙනවා දිය නෑම තහනම් කියලා, අවදානම් සහිත යි කියලා පැහැදිලිව දැනුම් දීලා තියෙනවා. කාලයක් තිස්සේ තහනම් කළ ස්ථානයක් දිය නෑමට. අවදානම් කියලා සඳහන් දැන්වීම් පුවරු සකස් කරලා තියෙනවා. එවැනි තහනම්කිරීම් පැහැදිලිව දැක දැක දිය නෑමට යාමෙන් තමා මේ අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. එවගේ කටයුතු කරන පිරිස් ඉන්නවා," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.
මෑතක දී සිදුවූ මාරක දියේ ගිලීම්:
- වැල්ලවාය ඇල්ලේවල දියේ ගිලීමෙන් පුද්ගලයින් තිදෙනෙක්
- ඇටම්පිටිය ගැරඩිඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් පස්දෙනෙක්
- ත්‍රිකුණාමලය ආනන්දකුලම ප්‍රදේශයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි දැරියක් මුහුදේ ගිලීමෙන්
- රත්නපුර ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ දී කළු ගඟේ දියනාමින් සිටිය දී දිය පහරකට හසුව ගසාගෙන යාමෙන්, අවුරුදු 10, 22, සහ 40 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙක්
- දුන්ගල්පිටිය කැපුන්ගොඩ නැංගුරම් තොටුපල වෙරළ තීරයේ ගිලීමෙන් පුද්ගලයින් දෙදෙනෙක්. තවත් අයෙක් අතුරුදන්
සංඛ්‍යාලේඛන දත්තවලට අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලීම හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30කට ආසන්න ය.
පොලිස් සංඛ්‍යාලේඛනවලට අනුව 2019 වසරේ දී දියේ ගිලීම හේතුවෙන් පුද්ගලයින් 701 දෙනෙකු මියගොස් ඇත. ඒ අතුරින් 568ක් පිරිමි පුද්ගලයින් වේ. 2020 වර්ෂයේ දී ද පුද්ගලයින් 700කට අධික පිරිසක් දියේ ගිලීම හේතුවෙන් මියගොස් ඇති අතර, ඉන් 570ක් පිරිමි පුද්ගලයින් ය.
2021 වසරේ මුල් මාස හය තුළ දියේ ගිලීමෙන් පුද්ගලයින් 312 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් 225ක් පිරිමි පුද්ගලයින් බව පොලිසිය සඳහන් කළේ ය.









