'පිළිස්සීමට ලක්කළ මිහින්තලේ වන අලියා මිය ගොස් ඇත්තේ අධික ශාරීරික පීඩනය හේතුවෙන් හෘද වස්තුව ඇතුළු අවයව අකර්මණ්‍යය වීමෙන්'

- Author, බීබීසී සිංහල
පුද්ගලයන් පිරිසක් විසින් මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී පිළිස්සීම හේතුවෙන් තුවාල ලබා සිට පසුව මිය ගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර, එම වන අලියාගේ මරණයට හේතුව අධික ශාරීරික පීඩනය හේතුවෙන් හෘද වස්තුව ඇතුළු අවයව අකර්මණ්‍යය වීම බවට අනාවරණය වී තිබේ.
අනුරාධපුර, පණ්ඩුලගම වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්තිගේ මූලිකත්වයෙන් 'අඹ බෝ' නමින් හඳුන්වන මෙම වන අලියාගේ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇත.
මෙම වන අලියාව පිළිස්සීමට ලක් කළ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනකු මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් අද දින අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
සිදු වූයේ කුමක් ද?
මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේ තුවාලයක් සහිතව සැරිසරමින් සිටි වන අලියෙකු පන්දම් යොදාගනිමින් පිරිසක් විසින් පුළුස්සා තිබුණේ පසුගිය දෙසැම්බර් 14 රාත්‍රියේ ය.
පසුව මෙම වන අලියා අසාධ්‍යව සීප්පුකුලම, අඹගහවෙල ප්‍රදේශයේ ගෙවත්තක වැටී සිටියදී අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් පැමිණ තත්ත්වය නිරීක්ෂණය කර තිබිණි.
පසුව දෙසැම්බර් 16 උදෑසන මෙම වන අලියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති ඇතුළු එම වෛද්‍ය ඒකකයේ නිලධාරීන් පැමිණ ආරම්භ කර තිබූ නමුත් වන අලියා එදින ම මිය ගොස් තිබිණි.
එම නිලධාරීන් පැවසුවේ මෙම වන අලියා වයස අවුරුදු 35ක් 40ක් පමණ වයසක පිරිමි සත්වයෙකු බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදී ම එම නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදුකළ වන අලියෙකු බවත් ය.
පසුව දෙසැම්බර් 17 වන දින අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී ඒකකයේ නිලධාරී කණ්ඩායම විසින් මෙම මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදී.
පශු වෛද්‍ය නිලධාරීන් පැවසුවේ මෙම වන අලියාට සියයකට වැඩි ප්‍රමාණයක් වෙඩි වැදිම් සිදුව ඇති බව ය.















