අලියා අප්‍රිකාවට සහ ආසියාවට පමණක් සීමා වූයේ ඇයි? ගොඩබිම දැවන්තයාගේ පරිණාමයේ කතාව

වර්තමානයේ අපට පැහැදිලිව දැකිය හැකි අලි විශේෂ තුනක් ජීවත් වෙති. ඒ ආසියානු අලින්ගේ එක් විශේෂයක් සහ අප්‍රිකානු අලින්ගේ විශේෂ දෙකකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

"අලි ආසියාවේ සහ අප්‍රිකාවේ විතරක් ජීවත් වෙන්නේ ඇයි?"

මේ, මෑතකදී අලින් සම්බන්ධයෙන් මා හා මාගේ මිතුරෙකු අතර ඇතිවූ කතාබහකදී නැගුණු ප්‍රශ්නයකි.

අලින්ගේ පරිණාමීය යුගයේ එක් අවධියක මැමත් නමැති සත්වයා යුරෝපය ආශ්‍රිතව ජීවත්වී, පසුකාලීනව ගොඩබිමින් තුරන්ව ගිය බව අසා ඇති නමුත් අනෙකුත් මහද්වීපවල අලින් වාසය නොකරන්නේ ඇයි දැයි යන කුහුල ඒ මොහොතේ මාගේ සිතට ඇතුළු විය.

ඒ අනුව තොරතුරු සොයා යාමේදී අලින්ගේ පූර්වජයන් හා ඔවුන්ගේ පරිණාමය සම්බන්ධ ඒ කතාන්දරය සොයා ගැනීමට මට හැකි විය.

ජීවය ඇතිවීම සහ පැතිරීම

වර්තමානයේ අපට පැහැදිලිව දැකිය හැකි අලි විශේෂ තුනක් ජීවත් වෙති. ඒ, ආසියානු අලින්ගේ එක් විශේෂයක් සහ අප්‍රිකානු අලින්ගේ විශේෂ දෙකකි.

අප්‍රිකාවේ වනාන්තර සහ සැවානා ආශ්‍රිතව, ගොඩබිම වර්තමානයේ ජීවත්වන දැවැන්ත ම සත්වයා වන අප්‍රිකානු අලියා දැකිය හැකි අතර, දකුණු ආසියාවේ සහ ගිනිකොන දිග ආසියාවේදී ගොඩබිම දැකගත හැකි ආසියාවේ දැවැන්තයා වන ආසියානු අලියා දැකිය හැකි ය.

අලින්ගේ පරිණාමය සිදුවූයේ කෙසේ ද කුමන යුගයකදී ද යන්න සොයා යාමේදී එය පූර්ව මයෝසීන යුගයටත් පෙර ආරම්භ වූවක් බව අප සමග අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රාජ්නිෂ් වැන්ඩකෝන් පැවසුවේ ය.

පළමුව අප්‍රිකාව තුළ අලින් පරිණාමය වූ බව ත් පසුව මහද්වීප වෙන් වීම සහ නැවත සම්බන්ධ වීම හරහා එම පූර්වජයන් වෙනත් භූමි කරා සංක්‍රමණය වූ බව ත් ඔහු පැවසුවේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"අලින් පරිණාමය වීමේදී අලින් මුලින් ම පරිණාමය වෙන්නේ අප්‍රිකාවේ. එතකොට එක කාලයක් තිබුණා සියලු ම මහද්වීප එකට තිබුණේ. ලොරේශියා, ගොන්ඩ්වානා විදිහට තිබුණා. එතකොට අප්‍රිකානු මහාද්වීපය තිබුණේ ගොන්ඩ්වානාවල," ඔහු පැහැදිලි කළේ ය.

ඛණ්ඩනය වීමෙන් පසුව කාලයක් අප්‍රිකාව හුදෙකලාව තිබී ඇති අතර, එම කාලයේදී අප්‍රිකාව තුළ අලින්ගේ පරිණාමය ආරම්භ වූ බව ආචාර්යවරයා පවසයි.

මෙම කාලය තුළ අප්‍රිකාවේ පරිණාමය වූ ක්ෂීරපායි සතුන් කණ්ඩායම පොදුවේ හඳුන්වන්නේ ඇෆ්‍රොතීරියා (Afrotheria) ලෙස ය.

මෙම ක්ෂීරපායි සත්ව කණ්ඩායමට මුහුදු ඌරා (Dugong), අප්‍රිකාවේ ජීවත් වන හයිරැක්ස් (Hyrax) හා ආඩ්වාක් (Aardvark) වැනි සතුන් කිහිපයක් ඇතුළත් වේ.

එයට ඇතුළත් වන තවත් සත්ව කණ්ඩායමක් වන්නේ හොඬවැලක් සහිත ක්ෂීරපායි සතුන් (Proboscideans) ය.

නූතන අලින්ගේ පූර්වජයන් වූ මෙම සතුන් විශේෂ කිහිපයක් ඒ වන විට පරිණාමය වී සිටි බව ආචාර්ය වැන්ඩකොන් පැවසුවේ ය.

"කාලයක් යනකොට පූර්ව මයෝසීන යුගයේදී අප්‍රිකානු අරාබි භූ තැටිය ගිහිල්ලා යුරේෂියාව කියන භූමියට සම්බන්ධ වෙනවා. අප්‍රිකාවේ ඒ වෙනකොට පරිණාමය වෙලා හිටිය මුල් කාලීන අලින්ගේ පූර්වජයන් ගණනාවක් හිටියා. ඒ කියන්නේ Proboscideans කියලා කියන්න පුළුවන් සතුන් ගණනාවක් හිටියා," ඔහු පැවසුවේ ය.

මෙලෙස අප්‍රිකාව නැවතත් යුරේෂියාවට සම්බන්ධ වීමෙන් පසුව අලින්ගේ පූර්වජයන්, නැතහොත් හොඬවැලක් සහිත සතුන් ක්ෂීරපායින් (Proboscideans) පළමුව ආසියාවට ඇතුළු වී ආසියාව හරහා ඇමෙරිකානු මහද්වීප වෙත ඇතුළු වී තිබේ.

ඒ, බෙරින් ගොඩබිම් තීරුව (Bering Land Bridge) හරහා බව ආචාර්යවරයා පැවසුවේ ය.

බෙරින් ගොඩබිම් තීරුව යනු, උතුරු ඇමරිකාව සහ ආසියාව අතර පැසිෆික් සාගරයේ පැවතුණු බවට විශ්වාස කරන ගොඩබිම් තීරුවකි.

"Proboscideans සතුන් හිටපු නැති මහද්වීප දෙක වෙන්නේ ඇන්ටාක්ටිකාව සහ ඔස්ට්‍රේලියාව," ආචාර්යවරයා පැවසුවේ ය.

Elephant walking at sunrise in desert area.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'අලින් පරිණාමය වීමේදී අලින් මුලින් ම පරිණාමය වෙන්නේ අප්‍රිකාවේ'

මැස්ටඩොන් සහ මැමත්: ඇමෙරිකාවේ සහ යුරෝපයේ අලියා

පෘතුවියේ වයස ගණනය කිරීමේදී විවිධ යුග භාවිත කරන අතර, පූර්ව මයෝසින යුගයෙන් වසර දහස් ගණනකට පසුව පැවති ප්ලයිස්ටොසීන යුගය (Pleistocene) වන විට ඇමෙරිකානු මහද්වීපයේ සහ යුරෝපයේ මැස්ටඩොන් (Mastodon) සහ මැමත් යන අලි වර්ග එක ජීවත් වූ බව සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු පැවසුවේ ය.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ ජීවත් වූ හොඬවැල සහිත සතුන් (Proboscideans) වර්තමානයේ ජීවත්වන නූතන අලියාට වඩා බෙහෙවින් වෙනස් බව ආචාර්ය රාජ්නිෂ් වැන්ඩකෝන් පැවසුවේ ය.

"ඇමෙරිකාවේ හිටියේ මැමුට් (Mammut) කියන සත්තු. එයාලට කියනවා මැස්ටඩොන් (Mastodon) කියලා. එතකොට මැස්ටඩොන් (Mastodon) හිටියේ ඇමෙරිකාවේ විතරයි. එයාලා උතුරු ඇමෙරිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ, කොලොම්බියාවේ ඉඳලා තියෙනවා. ඊට අමතරව මැමත් කියන කණ්ඩායම යුරෝපයේ, ඇමෙරිකාවේ සහ ආසියාවේ, අප්‍රිකාවේ ඉඳලා තියෙනවා," ඇමෙරිකාවේ ජීවත්වූ අලින්ගේ පූර්ව මුතුන්මිත්තන් පිළිබඳව විස්තර කරමින් ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු පවසයි.

"ඒ අය දැනට ඉන්න එලිෆාස් (Elephas) කියන වර්ගය සහ අප්‍රිකාවේ ඉන්න ලොක්සඩොන්ටා (Loxodonta) කියන වර්ගවලින් වෙනස්."

"ප්‍රධාන වශයෙන් මැමත් සහ මැස්ටඩොන්ලා හිටියේ සීත ප්‍රදේශවල. එයාලගේ පරිසරයේ විශාල තෘණ භූමි තිබුණා ඒ කාලයේ. ඒවා ආශ්‍රිතව ජීවත් වුණා කියලා විශ්වාස කරනවා. මේ වර්ග දෙකේ නොයෙකුත් අලි විශේෂ හිටියා," ඔහු පැවසුවේ ය.

මැමත් කියූ විගස ම අප හට සිහියට පැමිණෙන්නේ ලෝමවලින් පිරි දැවැන්තයෙකුගේ රූපයකි.

නමුත් ලෝම සහිත එම සත්වයා මැමත් සතුන්ගේ එක් වර්ගයක් පමණක් බව ආචාර්යවරයා විස්තර කළේ ය.

"මැමත්ලගේ අපි කතා කරන්නේ වැඩිපුර වූලි මැමත් කියන සතා ගැන විතරයි. ඒ එක විශේෂයක්. නමුත් මැමත්ලා වර්ග කීපයක් ඉඳලා තියෙනවා. සමහර මැමත් වර්ග ගොඩක් පොඩියි. අන්තිමට දූපතක ඉතුරු වුණා කියලා කියන අය ගොඩක් පොඩියි. ලෝම තිබිලා තියෙන්නේ සීත ප්‍රදේශවල හිටපු අයගේ."

මැමත් සතුන් ආසියාවේ ද විසිර සිටි බව ආචාර්ය වැන්ඩකෝන් පවසයි.

"එක කාලයක් තිබුණා මේ අපි අද දකින අලින්ගේ පූර්වජයන් හැමතැන ම පැතිරිලා තිබුණ. ඊටපස්සේ ස්ටිගඩොන් (Stegodon) සහ මැමත් කියන වර්ග ටික ආසියාවේ පරිණාමය වුණා," ඔහු පැවසුවේ ය.

කෙසේ වෙතත් මැමත් සහ වර්තමානයේ ජීවත් වන ලොක්සඩොන්ටා (Loxodonta) සහ එලිෆාස් (Elephas) යන කොටස් තුන එක් කාලයකදී බෙදී ගිය කණ්ඩායම් බව ද ආචාර්ය පෘතුවිරාජ් පෙන්වා දුන්නේ ය.

"මැමත්, ලොක්සඩොන්ටා (Loxodonta) සහ එලිෆාස් (Elephas) කියන්නේ එක ම කාලයේදී බෙදිලා ගිහින් වෙන වෙන ම පරිණාමය වුණ කොටස් තුනක්. මැස්ටඩොන් සහ මැමුට් ඊට කලින් වෙන් වෙලා තියෙන්නේ. අලින්ගේ පූර්වජයන්ගෙන් ඔවුන් කලින් ම වෙන් වෙලා තියෙනවා."

සුරිච් විශ්වවිද්‍යාලයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති මැමත් ඇටසැකිල්ලක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මැමත් කියන අලි කොට්ඨාසය අවුරුදු 4,000කට විතර කලින් තමයි ලෝකයෙන් ම තුරන් වෙලා ගියේ'

උණුසුම්-සීත කාලගුණ බලපෑම සහ නූතන අලියාගේ පරිණාමය

"ඇමෙරිකාවේ සහ සහ යුරෝපයේ ජීවත් වූ දැවැන්තයන් ගොඩබිමින් තුරන් වූයේ ඇයි?"

අලින්ගේ පරිණාමීය කතාන්දරයේ එක කොටසකදී නැගෙන ප්‍රධාන ප්‍රශ්නය මෙයයි.

පෘතුවියේ විවිධ කාලවලදී සිදු වූ දේශගුණික විපර්යාස එයට හේතු වූ බව අප සමග අදහස් දැක්වූ ආචාර්යවරුන් දෙදෙනා ම පෙන්වා දුන්හ.

මෙම දේශගුණික විපර්යාස යනු, වර්තාමානයේ අප සාකච්ඡාවට ගනු ලබන දේශගුණික විපර්යාස නොවේ.

වසර දහස් ගණනකට පෙර පෘතුවියේ පැවති අධික උණුසුමක් සහිත දේශගුණික තත්ත්වයන් සහ අධික සීතලක් සහිත දේශගුණික තත්ත්වයන් මෙයින් අදහස් වේ.

"ප්‍රධාන වශයෙන් ම ලෝකයේ එක එක කාලවල සීත වෙලා ආපහු උෂ්ණත්වය ඉහළ යාම වගේ දේවල් සිදුවුණා. ඒ වගේ කාලවලදී සීතල වැඩි වීමත් එක්ක උතුරු පැත්තේ අයිස් ගොඩ ගැහුණා. අපි එකට අයිස් යුගය (Ice Age) කියලා කියනවා. උෂ්ණත්වය වැඩිවුණ කාලවල ඒ අයිස් නැතිවෙලා ඒ විදිහට පරිසරයේ වෙනස්වීම් වෙලා තියෙනවා," ආචාර්ය පෘතුවිරාජ් පවසයි.

"මේ සතුන් වඳ වෙලා යන්න ප්‍රධාන හේතුවක් කියලා හිතන්නේ එයාලා වැඩිපුර ශීත පරිසරයකට අනුවර්තනය වුණ සත්තු වෙලා හිටපු එක. උෂ්ණත්වය වැඩි වෙද්දී පරිසරයේ සිදුවුණ වෙනස්කම් එක්ක තෘණ භුමි වනාන්තරවලට පරිවර්තනය වුණා කියලා විශ්වාස කරනවා. ඒ නිසා විශ්වාස කරන්නේ ඒ සතුන් නැතිවෙන්න මේ සිදුවුණ පාරිසරික බලපෑම හේතුවුණා කියලා," ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ ය.

මැමත් සතුන් අයිස් යුගයේ ද ජීවත්ව ඇති අතර, ඔවුන්ගෙන් වූලි මැමත් ලෙස හඳුන්වන ලොම්වලින් පිරී ගිය සමක් සහිත දැවැන්තයා සීත කාලගුණයකට ඔරොත්තු දෙන පරිදි පරිණාමය වී සිට ඇත.

"මැමත්ලා යුරෝපයේ අයිස් යුගවල හිටපු නිසා එයාලා මැරිලා එයාලාගේ මළ සිරුරු අයිස්වල තැන්පත් වෙලා තියෙනවා. දැන් තියෙන පරිසර තත්ත්වය යටතේ අයිස් කඳු දියවෙලා යද්දී මේවා එළියට එනවා. මැමත් කියන අලි කොට්ඨාසය අවුරුදු 4,000කට විතර කලින් තමයි ලෝකයෙන් ම තුරන් වෙලා ගියේ. ඒ දක්වා සමහර දූපත් කිහිපයක මැමත්ලා ජීවත් වුණා කියලා විශ්වාස කරනවා," ආචාර්යවරයා පවසයි.

"ලෝකයේ සිදු වුණ දේශගුණික විපර්යාස හින්දා සහ මිනිස්සුන්ගේ බලපෑම කියන ඔක්කොම බලපාලා අලින්ට සුදුසුයි කියලා ඉතුරු වුණ ප්‍රදේශ දෙක තමයි ආසියාව සහ අප්‍රිකාව. එතකොට ඒ අතරතුර කාලයේ හිටපු අලින්ගේ පරිණාමය වුණ පූර්වජයන් නැතිවෙලා ගියා," ආචාර්ය රාජ්නිෂ් වැන්ඩකෝන් පැවසුවේ ය.

මෙම දේශගුණික විපර්යාස සිදුවූ සමයේ අලින්ට වඩාත් සුදුසු කාලගුණයක් ආසියාවේ තිබී ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. මේ නිසා ආසියාවේ, විශේෂයෙන් ම දකුණු ආසියාව තුළ අලින් පරිණාමය වූ බව ඔහු පෙන්වා දෙයි.

දේශගුණික විපර්යාසවලට අමතරව මිනිස් ක්‍රියාකාරකම් ද යුරෝපයේ සහ ඇමෙරිකාවේ ජීවත්වූ දැවැන්තයන් ගොඩබිමින් තුරන්ව යාමට බලපෑ බව ඔවුහු පෙන්වා දෙති.

විශේෂයෙන් ම මෙම සතුන් ජීවත් වූ ප්‍රදේශවල මිනිස් ජනගහනය ඉහළ යාමත් සමග මිනිසුන් එම සත්වයින් දඩයම් කිරීමට පෙළඹී ඇති අතර, මෙය ද විශේෂයෙන් ම මැමත් සතුන් වඳවී යාමට විශාල බලපෑමක් එල්ල කර ඇති හේතුවකි.

"ඒ සතුන්ට පරිසර බලපෑමක් සිදු වුණ කාලයේදී තමයි මිනිස්සුන්ගේ ගහනය වර්ධනය වෙලා මිනිස්සුත් මේ ප්‍රදේශවලට පැතිරිලා ජනගහනය වැඩි එන්න පටන් ගත්තේ. මේ ප්‍රදේශවල මේ සතුන් ව ගොඩක් දඩයම් කළා කියලා විශ්වාස කරනවා," ආචාර්ය පෘතුවිරාජ් පැවසීය.

උතුරු සහ දකුණු ඇමෙරිකාවේ ජීවත්වූ මැස්ටඩොන් (Mastodon) දැනට අවුරුදු 10,000කට 11,000කට පමණ පෙර වඳ වී ගොස් ඇති බව ආචාර්ය වැන්ඩකෝන් පෙන්වා දුන්නේ ය.

එලිෆාස් සහ ලොක්සඩොන්ටා

දැන් ලෝකයේ ජීවත් වන අලින් වන එලිෆාස් සහ ලොක්සඩොන්ටා ගණවලට අයත් අලි විශේෂ ගණනාවක් අතීතයේ ජීවත්ව සිට ඇති නමුත් වර්තමානයේ එලිෆාස්හි එක් විශේෂයක් සහ ලොක්සඩොන්ටා විශේෂ දෙකක් පමණක් ඉතිරිව තිබේ.

"මේ වර්ග දෙක විතරක් ඉතුරු වුණේ ඒ වර්ග දෙක ම අනිත් අයට වඩා පරිසරයට අනුවර්තනය වුණ නිසා. මැස්ටඩොන් සහ මැමත්ලා වගේ නෙවෙයි මේ වර්ග උෂ්ණත්වය අධික ප්‍රදේශවල තමයි අනුවර්තනය වෙලා හිටියේ. ඒ නිසා උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි වුණා කියලා එයාලට ලොකුවට ප්‍රශ්නයක් වුණේ නෑ," යැයි පෘතුවියේ පැවති දේශගුණික විපර්යාසයන් හමුවේ ඔවුන් වඳ වී නොයාමට හේතුව පැහැදිලි කරමින් ආචාර්ය පෘතුවිරාජ් පැවසුවේ ය.

සතුන් ද්වීපද නාමකරණය නැතහොත් සතුන්ට විද්‍යාත්මක නාමයක් ලබා දීමේදී එම නමේ පළමු කොටසින් එම සත්වයාගේ ගණය (genes) හඳුන්වන අතර, දෙවන කොටසින් විශේෂය (spieces) හඳුන්වනු ලබයි.

ඒ අනුව වර්තමානයේ ජීවත් වන ආසියානු අලියා එලිෆාස් මැක්සිමස් (elephas maximus) ලෙස හඳුන්වයි. එහි එලිෆාස් යනු ගණය වන අතර, මැක්සිමස් යනු විශේෂයි.

"එලිෆාස් (Elephas) කියන ගණයේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ එක විශේෂයයි. ලොක්සඩොන්ටා (Loxodonta) ගණයේ විශේෂ දෙකක් දැනට ඉන්නවා. ඒ ලොක්සඩොන්ටා ඇෆ්රිකානා (Loxodonta africana) සහ ලොක්සඩොන්ටා සයික්ලොටිස් (Loxodonta cyclotis) කියලා," ආචාර්ය පෘතුවිරාජ් පැහැදිලි කළේ ය.

අලින්ගේ මෙම ගණ දෙක ම එක් කාලයක වෙන් වී වෙන වෙන ම පරිණාමය වූ විශේෂ දෙකක් බව ඔහු සඳහන් කළේ ය.

"යම්කිසි කාලයක වෙනස් විදිහට බෙදිලා වෙන වෙන ම පරිණාමය වුණ සත්ව කොට්ඨාස දෙකක්. හරියට අශ්වයෝ සහ බූරුවෝ වගේ. එහෙමත් නැත්නම් මිනිස්සු සහ චිම්පන්සි වගේ. ඒ විදිහට දෙකට බෙදිලා කාලයක් වෙන වෙනම ම පරිණාමය වුණ සත්ව කොට්ඨාස දෙකක්," ඔහු පැවසීය.

අප්‍රිකානු අලින් ආසියානු අලින්ට සාපේක්ෂව උස, බර, කන්වල විශාලත්වය අතින් දැවැන්තයන් වන අතර, අප්‍රිකානු අලින්ගේ සියලු අලින්ට දළ පිහිටයි. නමුත් ආසියානු අලින්ගේ දළ පිහිටන්නේ ඇතැම් පිරිමි සතුන්ට පමණි. එමෙන් ම අලියාගේ ශරීරයේ ඉහළ ම ස්ථානය වන කුම්භස්තලයේදී වෙනසක් නිරීක්ෂණය කළ හැකි ය. අප්‍රිකානු අලින්ගේ හිස තනි ගෝලයක් ලෙස පිහිටා ඇත. නමුත් ආසියානු අලින්ගේ හිස කුම්භස්තලය දෙකට බෙදී ගොස් නිර්මාණය වී ඇත.
එනම් ආසියානු අලින්ගේ හිස ගෝල දෙකකින් සෑදී ඇති බවක් දිස් වේ.
අප්‍රිකානු අලින්ගේ සම රැළි වැටුණු සමක් වනමුත් ආසියානු අලින්ගේ සම සාපේක්ෂව මෘදු ය.

අප්‍රිකානු අලින් ආසියානු අලින්ට සාපේක්ෂව උස, බර, කන්වල විශාලත්වය අතින් දැවැන්තයන් වන අතර, අප්‍රිකානු අලින්ගේ සියලු අලින්ට දළ පිහිටයි.

නමුත් ආසියානු අලින්ගේ දළ පිහිටන්නේ ඇතැම් පිරිමි සතුන්ට පමණි.

එමෙන් ම අලියාගේ ශරීරයේ ඉහළ ම ස්ථානය වන කුම්භස්තලයේ වෙනසක් නිරීක්ෂණය කළ හැකි ය.

ලොක්සඩොන්ටා හෙවත් අප්‍රිකානු අලින්ගේ හිස තනි ගෝලයක් ලෙස පිහිටා ඇත. නමුත් ආසියානු අලින්ගේ හිස කුම්භස්තලය දෙකට බෙදී ගොස් නිර්මාණය වී ඇත.

එනම් ආසියානු අලින්ගේ හිස ගෝල දෙකකින් සෑදී ඇති බවක් දිස් වේ.

අප්‍රිකානු අලින්ගේ සම රැලි වැටුණු සමක් වනමුත් ආසියානු අලින්ගේ සම සාපේක්ෂව මෘදු ය.

"ආසියානු අලින් බොහෝ වෙලාවට වනාන්තර ප්‍රදේශවල‍ට තමයි හුරු වෙලා තියෙන්නේ. කන් පොඩි වෙලා තියෙනවා. ඒ වගේ ම අප්‍රිකානු අලියා වගේ නෙවෙයි ආසියානු අලියාගේ පිට පැතලි වෙලා කෙලින් වෙලා තියෙනවා. අප්‍රිකාවේ තිබුණේ සැවානා, තෘණභුමි වගේ ඒවා. ඒ ජීවත්වුණු ප්‍රදේශය එක්ක තමයි අප්‍රිකානු අලින්ගේ ස්වභාවය හැදිලා තියෙන්නේ," ආචාර්ය රාජ්නිෂ් වැන්ඩකෝන් පෙන්වා දෙයි.

ලෝක වන සත්ව අරමුදලේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මේ වන විට අප්‍රිකානු අලි 415,000ක් පමණ ජීවත් වෙති.

එහි දැක්වෙන ආකාරයට ආසියානු අලි ගහනය 50,000ක් පමණ වේ.

අප්‍රිකාවේ රටවල් 37ක ජීවත් වන අප්‍රිකානු අලින් වැඩි පිරිසකට නිවහන වී ඇත්තේ බොට්ස්වානා රාජ්‍ය වේ.

මීට අමතරව සිම්බාබ්වේ සහ ටැන්සානියාව යන රටවල ද අප්‍රිකානු අලි විශාල ගණනක් ජීවත් වෙති.

ආසියානු අලින්ගෙන් වැඩි ම අලින් ගණනක් ජීවත් වන්නේ ඉන්දියාවේ ය.

ඊට අමතරව භූතානය, බංග්ලාදේශය, නේපාලය, කාම්බෝජය, චීනය, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය යන රටවල්වල ද ආසියානු අලි ජීවත් වෙති.

ආසියානු මහද්වීපයේ ප්‍රධාන ගොඩබිමට අමතරව දූපත් තුනක අලි වාසය කරති. ඒ, ශ්‍රී ලංකාව, සුමාත්‍රා දිවයින සහ බෝර්නියෝ දිවයින ය.

මෙම ආසියානු අලින්ගේ උපවිශේෂ 4ක් පවතින බව ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ එලිෆාස් මැක්සිමස් මැක්සිමස් (elephas maximus maximus), ආසියානු මහද්වීපයේ එලිෆාස් මැක්සිමස් ඉන්ඩිකස් (elephas maximus indicus), සුමාත්‍රාවේ එලිෆාස් මැක්සිමස් සුමාත්‍රනස් (elephas maximus sumatranus) සහ බෝර්නියෝවේ එලිෆාස් මැක්සිමස් බෝර්නියසිස් (elephas maximus borneensis) යනු එම උපවිශේෂ වේ.

බෝර්නියෝවේ අලින් එම දිවයිනේ ම පරිණාමය වූවන් ද නැද්ද යන්න සම්බන්ධයෙන් විවිධ මත තිබී ඇත.

"බෝර්නියෝවල ඉන්නේ වෙනත් උපවිශේෂයක් කියලා මුලින් ම යෝජනා කළේ ලංකාවේ හිටපු සත්ව විශේෂඥයෙකු වෙන පී.ඊ.පී. දැරණියගල විසින්. නමුත් පසු කාලයක ඒක වැරදියි, ඒ සතුන් ගෙනත් දාපු අය කියලා තමයි මතයක් බිහි වුණේ," ආචාර්ය පෘතුවිරාජ් පවසයි.

"ලොකු කාලයක් යනකන් විශ්වාස කළේ බෝර්නියෝවේ අලින් ඕලන්ද ජාතිකයන්ගේ බලය තිබුණු කාලයේ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් ගෙනත් දාපු අලි කියලා. නමුත් මම ඒ ගැන ජානමය පරීක්ෂණ කළා. එයින් පෙනී ගියා මේ සත්තු එහෙම කොහෙන්වත් ගෙනාව සත්ව කොට්ඨාසයක් නෙවෙයි බෝර්නියෝ දූපතේ ම ප්ලයිස්ටොසීන යුගයේ ඉඳලා හිටපු වර්ගයක් කියලා," ඔහු පැවසුවේ ය.

"ඒ හින්දා දැන් නැවතත් ආසියානු අලියාගේ උපවිශේෂ 4ක් ඉන්නවා කියලා පිළිගන්නවා."

The notorious wild elephant known as "Walagamaba" roams in the forests in Kala wewa, Kekirawa.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 62%ක අලි ජීවත් වෙති

ශ්‍රී ලංකාවේ අලියාගේ විශේෂත්වය

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ අලින් වැඩි වශයෙන් ජීවත් වන අතර, කඳුකරයේ සහ තෙත් කලාපයේ පිහිටි සිංහරාජ රක්ෂිතයේ ද අලි ජීවත් වෙති.

අලි මිනිස් ගැටුම ද නිරන්තරයෙන් සිදු වන වියළි කලාපයේ මේ හේතුවෙන් මිනිස් ජීවිත ද අලින්ගේ ජීවිත ද අහිමි වේ.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවේ අලින් 6,000ක පමණ ගහණයක් ජීවත් වන බව ආචාර්ය පෘතුවිරාජ් පැවසුවේ ය.

ඒ අතරින් හීලෑ අලි ඇතුන් සිටින්නේ 200කට අඩු ගණනක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

එමෙන් ම ආසියානු අලි විශේෂය නම් කිරීමේදී පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අලියා බව පෘතුවිරාජ් ප්‍රනාන්දු පවසයි.

"සතුන් සඳහා ද්වීපද නාමකරණය හඳුන්වා දුන්නේ කැරොලස් ලිනේයස් කියන ජීව විද්‍යාඥයා. ඔහු තමයි ගණය සහ විශේෂය අනුව සතුන් ද්වීපද නාමකරණය කිරීම පටන් ගත්තේ. ඔහු මුල් අවස්ථාවේදී සත්තු කීප දෙනෙක්ව මේ විදිහට නම් කළා. ඒ අතරින් එක්කෙනෙක් තමයි ආසියානු අලියා," ඔහු පවසයි.

"එතකොට එයා එලිෆාස් මැක්සිමස් (elephas maximus) කියලා නම දැම්මේ කැරොලස් ලිනේයස් විසින්. මෙහෙම අලියා කියලා සතෙක් ඉන්නවා, ඒ සතාට අපි මීට පස්සේ එලිෆාස් මැක්සිමස් කියලා නම දානවා කියලා තීරණය කරපු දේවල් ලංකාවේ අලියා මත පදනම් වෙලා තියෙනවා," ආචාර්යවරයා පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ ජීවත් වන අලි උපවිශේෂය එලිෆාස් මැක්සිමස් මැක්සිමස් (elephas maximus maximus) ලෙස නම් කර ඇත්තේ මේ නිසා බව ඔහු පැවසුවේ ය.

එමෙන් ම අනෙකුත් උපවිශේෂවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අලියා ජාන විවිධත්වය අතින් ද වැඩි විවිධත්වයක් පවතින බව ඔහු පැවසුවේ ය.

එමෙන් ම ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 62%ක අලි ජීවත් වන බවත්, ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 44%ක අලි ජීවත් වන්නේ මිනිසුන් ජීවත් වන ප්‍රදේශවල ම වීම විශේෂත්වයක් බව ද ඔහු පවසයි.

"ඒ වගේ දෙයක් දකින්න ලැබෙන්නේ ලංකාවේ විතරයි. ලංකාවේ වියළි කලාපයේ සම්පූර්ණයෙන් ම අලි ජීවත් වෙනවා. ආසියාවේ කිසි ම රටක ඒ වගේ දෙයක් දකින්න බෑ."