අලින් 6කට මරු කැඳවූ 'මීනගයා දුම්රිය අනතුර' වැනි ව්‍යසන යළි නොවීමට රජයට වැඩපිළිවෙළක් තිබේ ද?

Meenagaya

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යයට වැඩි වටිනාකමක් එක් කරන වනජීවී සම්පතක් ලෙස සැලකෙන වනඅලිගහනයෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙකු අහිමි වීමේ පුවත ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නොව විදෙස් වැසියන්ගේ පවා හද සසල කළ පුවතක් විය.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ ගැටී පෙබරවාරි 19 වන දා රාත්‍රියේ අලි රංචුවක් ගැටීමෙන් මෙම අනතුර සිදු විය.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කර තිබිණි.

බීබීසී සිංහල සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වූයේ, 2025 පෙබරවාරි 19 වන දින තෙක් මේ වසරේ ගතවූ දින 50ක කාලය තුළ අලි මරණ 65ක් වාර්තා වී ඇති බවත්, මරණ 9ක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ ඒවා බවත් ය.

ඒ අනුව, එම කාලය තුළදී දිනකදී එක් අලියෙකුට වඩා මරණයට පත්වී ඇතැයි පෙනී යයි.

තුවාල ලබා සිටි අලියා මිය යයි, තුවාල වූ අලි පැටවාට බරපතළ යි

Train Accident

වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව රාත්‍රී 11.30ට පමණ 'මීනගයා' දුම්රියට, මින්නේරිය සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර පිහිටි කි.මී. 140 කණුව ආසන්නයේදී අලින් 7 දෙනෙකු ගැටී තිබේ.

එම අනතුරින් අලි පැටවුන් 3 දෙනෙකු සහ වැඩිහිටි ගැහැනු අලින් දෙදෙනෙකු මියගොස් තිබූ අතර තවත් වැඩිහිටි ගැහැනු අලියෙකු සහ පැටවෙකු තුවාල ලබා තිබිණි.

තුවාල ලැබූ අලි දෙදෙනාට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරින් කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කරනු ලබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ රාජකාරි ආවරණ, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයක දැක් වේ.

⁣මෙම අනතුර සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

ප්‍රතිකාර ලබමින් සිටියදී තුවාල ලැබූ එක් අලියෙකු මිය ගොස් ඇති අතර තුවාල ලබා සිටින අලි පැටවාගේ තත්ත්වය ද බරපතළ බව පරිසර අමාත්‍ය, වෛද්‍ය ධම්මික පටබැඳි බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

මෙම අනතුරින් එක් පිරිමි අලි පැටවෙකු මිය ගොස් ඇති අතර මිය ගිය අනිත් සියලු දෙනා කෙනෙරුන් බව ද අමාත්‍යවරයා පැවසීය.

FACEBOOK

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ සිය අදහස් පළ කර තිබිණි

අනතුරු ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක්

අදාළ සිදුවීම සම්බන්ධව දුම්රිය දෙපාර්තුමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඇතුළු වගකිවයුතු අංශවල බලධාරීන්, පරිසරවේදීන් ඇතුළු මේ පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස් සමග සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (පෙබ: 20) සවස පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව ද ඔහු ඔහු සඳහන් කළේ ය.

"මේ සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවා ද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරලා, දින දෙක තුනක් ඇතුළත හදිසි ක්‍රියාමාර්ගවලට එන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ, ඒ සාකච්ඡාවේදී එන තීරණ අනුව," යැයි අමාත්‍ය ධම්මික පටබැඳි කියා සිටියේ ය.

'ඔය ස්ථානයේ අලි නොමැරෙන්න කටයුතු කරනවා'

වන අලි දුම්රියේ ගැටී සිදුවන අනතුරු වැළැක්වීමට මීට ඉහතදී විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

"නමුත් සමහර ඒවා අත්හැරිලා තියෙනවා, සමහර ඒවා අසාර්ථක වෙලා තියෙනවා, අපි දැන් ඒ සම්බන්ධයෙනුත් පොඩි සමාලෝචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවා ද අසාර්ථක වුණේ, මොනවා ද අත්හැරුණේ කියලා."

වනජීවී නිලධාරින් දුම්රියේ ගමන් කරවන වැඩපිළිවෙළක් ද මින් ඉහතදී සකසා තිබූ නමුත් ඒවා අසාර්ථක වූ සහ අත්හැරුණ අවස්ථා ද තිබූ බව පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ ය.

"මින් ඉදිරියේදී ඔය ස්ථානයේ අලි නොමැරෙන විදියට කටයුතු කරන්න අපි ඉක්මන් ක්‍රියාමාර්ගයකට එනවා," අමාත්‍ය ධම්මික පටබැඳි අවධාරණය කළේ ය.

පසුගිය දශකයේ මෙරට අලි මරණ කීය ද?

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පෙබරවාරි 6 වැනිදා පාර්ලිමේන්තු අමතමින් සඳහන් කළේ, ගෙවී ගිය දශකය තුළ මෙරට අලි මරණ 3,477ක් සිදුවී ඇති බව ය.

"2015 -2019 කාලයේ අලි මරණ ගත්තොත් 1466ක් සිද්ධ වෙලා තියෙනවා, 2020 -24 කාලයේදී අලි මරණ 2011ක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා පසුගිය 2015 -2019 කාලයට සාපේක්ෂව 2020 -24 අවුරුදු පහේදී අලි මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා," ඔහු පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ වාර්තාවලට අනුව 2023 වසරේ දුම්රියේ ගැටීමෙන් අලින් 24 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, 2024 වසරේ දී අලි 11 දෙනෙකු දුම්රිය අනතුරුවලින් මිය ගොස් ඇත.

'කෙටි හා දිගු කාලීන විසඳුම් අවශ්‍ය යි'

පරිසරවේදී පුබුදු වීරරත්නගෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු පැවසුවේ, කෙටි කාලීනව හා දිගු කාලීනව අලින්ට දුම්රියෙන් අනතුරු සිදුවීමේ ගැටලුව විසඳීමට පියවර ගත යුතු බව ය.

"සමහර තැන් තියෙනවා කෝච්චියේ වේගය අඩු කරන්න බැහැ කන්දක් වගේ නම් ඒගොල්ලො අදාළ වේගය පවත්වාගෙන යන්න ඕනේ එතනින් යන්න නම්. නමුත් අනිත් පැත්තෙත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.

"එකක් තමයි කෝච්චියේ ඉස්සරහ ලයිට් එක හුඟක් වෙලාවට දුර්වල තත්ත්වයේ තියෙන්නේ. කලින් නම් වනජීවී නිලධාරියෙක් ගමන් ගත්තා මම දන්න තරමට දැන් ඒක සිද්ධ වෙන්නේ නෑ. එතකොට කෙටි කාලීන සහ දිගු කාලීන කියන ක්‍රම දෙකකට ඕක විසඳන්න ඕනේ."

'ඊළඟ අලියා හැප්පෙනකම් ඔය ප්‍රශ්නේ ගැන කතාවක් නෑ'

අලි අනතුරක් සිදුවූ විට සියලු දෙනා මෙම ගැටලුව ගැන සාකච්ඡා කළ ද ඉන්පසුව ඒ පිළිබඳව සොයා බැලීමක් නොකරන බවට පුබුදු වීරරත්න චෝදනා කරයි.

"අලියෙක් හැප්පිච්ච ගමන් සෝඩා බෝතලේ කැඩුවා වගේ ඔක්කොම ඔය ගැන කතා කරනවා. ඊ⁣ට පස්සේ ඒ ගැන ෆලෝඅප් එකක් නෑ. ඊළඟ අලියා හැප්පෙනකම් ඔය ප්‍රශ්නේ ගැන කතාවක් නෑ. ප්‍රශ්නය එතන ම යි."

"කරන්න පුළුවන් එක දෙයක් තමයි ඔය කියන පැතිවල රාත්‍රී මුර සංචාරයක් දාන්න ඕනේ කෝච්චිය එන්න ඉස්සෙල්ලා. ඒවගේ විසඳුමකට යන්න වෙනවා සතුන්ට ගමන් කරන තැන් දානකම්."

අලින් මාරු වන ස්ථාන හරහා දුම්රිය උඩින් හෝ යටින් ගමන් කළ හැකි ලෙස පාලම් හෝ බෝක්කු යොදා ගැනීමෙන් මෙන් ම අලින් මාරු වන ස්ථානවල දුම්රිය මාර්ගයට පිවිසීම අවම කිරීම හෝ වේගය සිමා කිරීම වැනි විසඳුම් හරහා මෙවැනි අනතුරු අවම කර ගත හැකි බව පරිසරවේදි පුබුදු වීරරත්න පෙන්වා දෙයි.

අනතුර ගැන වාර්තාවක් කැඳවයි

මීනගයා දුම්රියේ අලි රංචුවක් ගැටී සිදුවූ අනතුර සම්බන්ධව වාර්තාවක් කැඳවා ඇති බව දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර බීබීසි සිංහල සේවයට ප්‍රකාශ කළේ ය.

"අලි යන මාර්ගය හරහා තමයි මේ දුම්රිය මාර්ගය ඉදිවෙලා තියෙන්නේ. මාර්ග දෙපස උස බිම් තිබීම නිසා අලින්ට ඉවත් වීමේ හැකියාවක් තිබිලා නැහැ."

නවීකරණය කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක අලින්ට මාරුවීම සඳහා මාර්ග ඉදිකර අතරමග නවතා දැමීම සම්බන්ධව ද බීබීසි සිංහල සේවය විමසීමක් කළේ ය.

"ඒ වැඩ කටයුතු ඉස්සරහට නිම වෙයි," දුම්රිය සමාන්‍යාධිකාරිවරයා ඊට පිළිතුරු දෙමින් පැවසීය.

මේ වන විටත් අනතුරට ලක්වූ දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කර නොමැති වුව ද, දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කර ඇතැයි දුම්රිය සමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර වැඩිදුරටත් පැවසීය.