ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම: වගා හානි කරන වනසත්ව ලැයිස්තුවෙන් අලියා ඉවත් කළ පමණින් අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලැබෙයිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කැබිතිගොල්ලෑව වාහල්කඩ කහටගොල්ලෑව ප්‍රදේශයේදී සිය ගෙවත්තට පැමිණි වන අලියෙකු එළවා දැමීමට උත්සාහ කළ 72 හැවිරිදි ගොවියෙකු අද අලුයම වන අලි ප්‍රහාරයකින් මිය ගියේය. කැබිතිගොල්ලෑවේ ඊයේ සිදුවූ තවත් වන අලි ප්‍රහාර දෙකකින් 80 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක සහ 44 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය.පසුගිය සතිය තුළ උතුරු මැද පළාත තුළ වන අලි ප්‍රහාර වලින් මියගිය මුළු සංඛ්‍යාව පුද්ගලයන් 11 දෙනෙකි.
අලි මිනිස් ගැටුමේ බිහිසුණු බව පිළිබඳ මෙම මාරාන්තික ප්‍රහාර සාක්ෂි දරයි. පසුගිය වසර 20 තුළ වන අලි ප්‍රහාර වලින් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1504 කි.
බලධාරීන් බිහිරි අලිමෙන් සිටින පසුබිමක විසඳුමක් නොමැති වන අලි ගැටලුව නිසා තමන්ට මර බියෙන් ජීවත් වීමට සිදුව ඇතැයි උතුරු මැද ජනතාව පෙන්වා දෙති.
වන අලි ගම්වැදින්නේ ඇයි?
මේ දිනවල වන අලි ගම්වැදීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ, වී අස්වැනු නිවාසවල ගබඩා කර තිබීමයි.
පරිසරවේදී සජීව චාමිකර පවසන්නේ වන අලි ගම්වැදීමට තවත් හේතු ගණනාවක් ඇති බවයි. "අද වන විට වියලි කලාපය පුරා පිහිටලා තිබෙන වන රක්ෂිත, වනජීවී රක්ෂිත එකිනෙකට ඛණ්ඩනය කරමින් සිදු කෙරෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මහා පරිමාණයෙන්ම වනාන්තර එළිපෙහෙලි කරමින් පවතිනවා. ඒ විතරක් නෙමේ වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා මහා පරිමාණයෙන්ම වනාන්තර එළි පෙහෙළි කරමින් පවතිනවා." යනුවෙනි.
"ගවපට්ටි පවත්වාගෙන යන පුද්ගලයින්ගේ හරක්, මීහරක් ලුණුගම්වෙහෙර, උඩවලව, මාදුරුඔය,ගල්ඔය වගේ ජාතික වන උද්‍යානවලට මහා පරිමාණයෙන්ම ඇතුලත් කිරීම සිද්ධවෙනවා. ඒවායේ ප්‍රතිඵල විදිහට සිද්ධ වෙන ප්‍රධාන ක්‍රියාවලිය තමා අලි ඇතුන්ට තිබෙන පෝෂක ප්‍රභවයන් නැතිව යන එක. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ රක්ෂිත තුළ ජීවත්වන අලි ඇතුන් ගම්මානවලට පිවිසීම සිද්ධ වෙනවා." පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේවෙතත්,වන අලින්ගේ පහරදීමෙන් මිනිස් ජීවිත අහිමි වීම වළක්වා ගැනීමට වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවා ඇතැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර සඳහන් කළේය.
ප්‍රධාන වශයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මඟින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි ඔහු පැවසීය.
ජනතාවට සිය ආරක්ෂාව තමන් විසින්ම සලසා ගැනීම සඳහා අලි වෙඩි බෙදා හරින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ, සතුන්ගේ සංචරණය බාධා කිරීම සඳහා විදුලි වැට ඉදිකිරීම සහ නඩත්තුවට මෙන්ම සතුන්ගේ වාසස්ථානවල ගුණාත්මකභාවය වැඩි කර ආහාර හා ජලය ප්‍රශස්ත මට්ටමට වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවයි.
චන්දන සූරියබණ්ඩාර සඳහන් කළේ "ජනතාව තේරුම් ගන්න ඕනේ තමන්ගේ අවබෝධයත් හොඳ තත්ත්වයක රඳවා ගන්න, මෙවැනි තත්ත්වයකින් බේරෙන්න. වනජීවී නිලධාරීන් අතලොස්සකට හැම තැනම ගිහිල්ලා අලි පලවා හැරීම කරන්න ප්‍රායෝගික වශයෙන් අපහසුයි."
එම ප්‍රවේශයන් හරහා අලි - මිනිස් ගැටුම අඩු කර ගත් ලංකාවේ ප්‍රදේශ රාශියක් ඇතැයිද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
වන අලින් පලවා හැරීමට අලි වෙඩි සඳහා රජය වසරකට රුපියල් මිලියන 2,800ක් වැය කරන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අලි වෙඩි දේශීය ගිනිකෙළි කර්මාන්තකරුවන්ගෙන් මිල දී ගන්නා අතර වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14කි.
වන අලින් වගා බිම්වලට හා ගම්වලට කඩා වදින අවස්ථාවලදී ඔවුන් පලවා හැරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් එම ගම්මානවල ජනතාවට නොමිලයේ අලි වෙඩි සපයනු ලබයි. ඒ සඳහා රජයේ මුදල්වලින් විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වගා හානි කරන වනසත්ව ලැයිස්තුවෙන් අලියා ඉවත් කළ පමණින් අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලැබෙයිද?
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දරුවන් පාසලට රැගෙන යාම වැනි දෛනික කටයුතුවලදී ද බව-භෝග වගාව මෙන්ම රාත්‍රියේ නින්දට යන්නේ මර බියෙනි. ඒ, මොනයම් හෝ වේලාවක වන අලි කඩාවදී ද යන්න පවතින බිය හේතුවෙනි. මෙහි ඇති බිහිසුණු බව වන්නේ, ඇතැම් විට මිනිස්සුන්ට මෙන්ම අලින්ට ද ජීවිතයනේ වන්දි ගෙවීමට සිදුවීම නිසාය.
සෑම වසරකම අලි මිනිස් ගැටුම නිසා මිනිසුන් හා අලින් සිය ගණනක් මිය ගියද මෙම අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දීමට බලධාරීන් අපහෝසත් වී ඇති බව දිනපතාම පාහේ සිදුවන අලිමිනිස් ගැටුම පිළිබඳ සිදුවීම් වලින් පැහැදිලි වෙයි.
එහෙත් මීට පිලියමක් ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර යෝජනා කර ඇත්තේ මෙවැනි විසඳුමකි. එනම් වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්ට ඔහු විසින් උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන වනසත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසය.
මෙරට වනසතුන්ගෙන් වගා හානිවලට සිදු කරන හානි නිසා වාර්ෂිකව සිදුවන වගා හානිය සියයට 40ක් පමණ වේයැයි ගණනය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේය.
අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, වගා හානි කරන සතුන් අතරින් වන අලියාගෙන් සිදුවන වගා හානිය සමස්ත වගා හානියෙන් සියයට 20ක් පමණ අවම ප්‍රමාණයක් බවයි.
46%ක් පමණ වගා හානියක් රිළවා, වඳුරා, මොණරා, වල් ඌරා හා දඬුලේනාගෙන් සිදුවන බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේය.
භෝග හානි කරන වනසත්ව ලැයිස්තුවක් කෘෂිකර්ම අමාත්‍යාංශය හා වනජීවි හා වනසම්පත් අමාත්‍යාංශ එක්ව මේ වනවිට සකස් කර තිබේ.

වාර්තාගත අලි මරණ
පසුගිය කාලය තුළ වන අලි මරණයට පත් වීම බහුලව දක්නට ලැබිණි. 2021 හා 22 වසර තුළ වන අලි මරණ 511ක් හා අලි - මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ 181ක් වාර්තා විය.
2022 වසරේ ගත වූ කාලය තුළ වන අලි මරණ 258ක් වාර්තා වී ඇත.
ඉන් 35 වෙඩි තැබීම නිසාත්, 25ක් විදුලිසැර වැදීම නිසාත්, හක්ක පටස් නිසා වන අලි මරණ 30ක් , දුම්රිය අනතුරු නිසා 06ක්, මාර්ග අනතුරු නිසා මරණ 02ක්, දියේ ගිලීම නිසා මරණ 10ක්, වගා ලිංවලට ඇද වැටීම නිසා මරණ 06ක්, අනතුරු නිසා මරණ 03ක්, වනයේ මියගොස් නරක් වූ සිරුරු 29ක්, දිරාපත් වූ සිරුරු 12ක්, පණු ආසාදන නිසා මරණ 02ක් සහා වෙනත් හේතු නිසා මරණ 98ක් ද වාර්තා වී ඇත.
වනඅලි ගහණය විශාල වශයෙන් වැඩි වී නැතත් අලි - මිනිස් ගැටුම හේතුවෙන් අහිමි වන වන අලින් නිසා යම් දිනෙක වන අලි සම්පත අපේ රටෙන් තුරන්වීමට ඉඩකඩක් ඇතැයි වනජීවිහා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
එමනිසා වන අලින් තවදුරටත් ආරක්ෂිත වනසත්ව ලැයිස්තුවේ සිටිය යුතු බවත්, විදුලි සැර වද්දා වන අලින් ඝාතනය කිරීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සම්බන්ධව තිරසාර වැඩ පිළිවෙළක් යෝජනා කරන ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇත.
වනජීවි සංඛ්‍යාලේඛන අනුව විදුලි සැර වැද්දීම නිසා 2015 වන අලි මරණ 17ක්, 2016 දී 26ක්, 2017 දී 24ක්, 2018 දී 38ක්, 2019 දී 51ක්, 2020 30ක් හා 2021 දී වන අලි මරණ 66ක් ද වශයෙන් වාර්තා විණි.
විශේෂයෙන් පසුගිය කාලය තුළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේ දී වනසතුන්ට අයත් ඉඩම් කිසිදු සොයා බැලීමකින් තොරව ලබා දීම නිසා වන අලින්ගේ නිජබිම් අහිමිවීම වන අලි - මිනිස් ගැටුමට හේතුවී ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේය.
එමනිසා ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දෙන්නේ නම් වන අලි හා වෙනත් දුර්ලභ සතුන් ගැවසෙන වනාන්තර ආශ්‍රිත ඉඩම් සම්බන්ධව දැඩි තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.











