ශ්‍රී ලංකාවේ අලි මරණ ඉහළ යද්දී දුම්රිය, වන සංරක්ෂණ බලධාරීන් කියන කතා

Department of Wildlife Conservation - Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Department of Wildlife Conservation - Sri Lanka

අලි - මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයක වෙසෙන ජනතාව මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයකි.

එය කාලාන්තරයක් තිස්සේ පැවති අර්බුදයක් වන නමුත් තවමත් ඊට නිසි විසඳුම් සෙවීමට නොහැකි වී ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා කරයි.

වන අලින්ගේ ක්‍රියාකාරකම් නිසා මිනිසුන්ට සිදුවන හානි තරමට ම මිනිස් ක්‍රියාකාරකම් නිසා වන අලින්ට සිදුවන හානි ද බරපතළය. බීබීසී සිංහල සේවය මේ පිළිබඳව දිගින් දිගටම කරුණු වාර්තා කර තිබේ.

වන අලින් රටක සම්පතක් ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාවේ ඉතිරිව සිටින වන අලි ගහනය ආරක්ෂා කර ගත යුතු බවට පරිසරවේදීහු නිරන්තරයෙන් අවධාරණය කරති.

කසළ අවිධිමත් ලෙස බැහැර කිරීම, ගොවි බිම් ආරක්‍ෂා කිරීමට උපයෝගී කරගන්නා නීති විරෝධී ක්‍රමවේද, හීලෑ අලි ලබා ගැනීම සඳහා කරන්නාවූ නීති විරෝධී ක්‍රියාවන්, ඇත් දළ ලබා ගැනීම සඳහා ඝාතනය කිරීම ඇතුළු බොහෝ හේතු නිසා තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ අලි සම්පත මුහුණ දී ඇති තවත් ගැටලුවක් වන්නේ, දුම්රියේ ගැටීමෙන් මියයාමය.

2012 වසරේ සිට 2018 වසරේ ඔක්තෝබර් 21 වෙනි දින දක්වා දුම්රියේ ගැටී මරණයට පත්ව ඇති වන අලි සංඛ්‍යාව 71 දෙනෙකි.

BBC

ඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි දුම්රියේ ගැටීමෙන් සිදුවූ වන අලි මරණ වැඩි ම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, 2018 වසරේදීය. වසර අවසන් වීමට තවත් මාස දෙකකට වැඩි කාලයක් පවතිද්දී මේ වන විටත් වන අලි 14 දෙනෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැහැදිලි වේ.

මේ ගැනත් දැනගන්න:

එක් දිනකදී වන අලි මරණ දෙකක්

දුම්රියේ ගැටීමෙන් සිදුවන වන අලි මරණ පිළිබඳව අවසන් වරට වාර්තා වූ ඔක්තෝබර් 21 දිනයේදී වන අලි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

එක් වන අලියෙකු පලුගස්වැව සහ ගල්ඔය අතරදී දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්වූ අතර, ගල්ගමුව මී ඔය පාලම ආසන්නයේදී ද දුම්රියක ගැටීමෙන් ඇතින්නක් මිය ගොස් තවත් ඇතින්නක් තුවාල ලැබීය.

එම තුවාල ලැබූ ඇතින්න ද පසුදින මිය ගියේය.

"වන අලි ගැටීම වැළැක්වීම අසීරුයි"

නිරන්තරයෙන් සිදු වන මෙවැනි අලි මරණ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී දුම්රිය ගමනාගමන අධිකාරී ඒ ඩී ජී සෙනෙවිරත්න පැවසුවේ, වන අලි ගැවසෙන ප්‍රදේශවල දුම්රිය ධාවන වේගය අඩු කරන ලෙස උපදෙස් දී ඇතත් අලින් බේරා ගැනීම "අසීරු කටයුත්තක්" බවය.

"ධාවනය වන දුම්රියක් නවත්වන්න නම් මීටර් 600කට විතර කලින් තිරිංග මුදා හරින්න ඕන. හෙමින් දුම්රිය ධාවනය කළත් තිරිංග මුදා හැරීමෙන් පස්සෙ මීටර් 600 ක් විතර දුම්රිය ඉදිරියට ඇදිල යනවා. ඒ නිසා වන අලි මාර්ගය හරහා යන වෙලාවට තිරිංග මුදා හැරලා ඔවුන්ව බේරා ගැනීම ඉතා ම අසීරු කාර්යයක්," ගමනාගමන අධිකාරීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ වෙතත්, වන අලි දුම්රියවල ගැටීම වැළැක්වීම සඳහා පියවර කීපයක් අනුගමනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව රියැදුරන්ට උපදෙස් දී තිබේ.

"ආපහු දුම්රිය එන්ජිමේ වනජීවී නිලධාරිවරයෙකු යොදවන්න උපදෙස් දුන්නා. ඊට අමතරව, වන අලි ගැවසෙන ප්‍රදේශවල තවදුරටත් සෙමෙන් ධාවනය කරන ලෙස රියැදුරන්ට දන්වා තිබෙනවා."

Sri Lanka Railways

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Railways

"අසාර්ථක වැඩක්" - වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

දුම්රිය රියැදුරා සමග වනජීවී නිලධාරියෙකු යැවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළ ද එය අසාර්ථක විසඳුමක් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසීය.

"අපි මීට පෙර වනජීවී නිලධාරියෙක් දුම්රියේ යවල බැලුව. ඒක අසාර්ථක වුණ නිසයි අපි ඒක නතර කළේ. රියැදුරාට පේන දුරමයි අපේ නිලධාරියාට පේන්නෙත්. ඒ නිසා වනජීවී නිලධාරියෙක් දුම්රියේ යැවීම සාර්ථක වැඩක් නෙවේ."

තවදුරටත් කියවන්න:

පරිසරවේදීන්ගෙන් චෝදනා

වනජීවී දෙපාර්තමේන්තුවට හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් නොමැති බවට පරිසරවේදීන් චෝදනා කරයි.

NAyanaka Ranwella/Facebook

ඡායාරූප මූලාශ්‍රය, NAyanaka Ranwella/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, නයනක රන්වැල්ල

"මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න කලින් මේ ප්‍රශ්නය මොකක් ද කියල හොයන්න ඕනෙ. ඒකට විද්‍යානුකූලව දත්ත රැස් කරල ඒ දත්ත විශ්ලේෂණය කරන්න ඕන. ඒ ගැන කිසි ම වැඩපිළිවෙළක් බලධාරීන්ට නැහැ," එලෙස චෝදනා කළේ, සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් නයනක රන්වැල්ලයි.

ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, කෙටි කාලීන විසඳුමක් සෙවීම සඳහා අවම වශයෙන් ගෙවුණු වසර 5 ක කාලය තුළ දුම්රියෙහි ගැටීමෙන් අලි මරණ සිදුවූ ස්ථාන, වේලාවන් සහ කාල සීමාවන් පිළිබඳ දත්ත අධ්‍යයනය කළ යුතු බවය.

"ඒ කිසි දෙයක් නොකර වනජීවී එකයි දුම්රිය දෙපාර්තමේන්තුවයි උත්සහ කරන්නෙ, දුම්රිය මාර්ග දෙපැත්තේ තියෙන වනාන්තර කපල දාන්නයි," නයනක රන්වැල්ල පැවසීය.

විද්‍යාත්මක අධ්‍යයනයක්

Chandana Sooriyabandara/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Chandana Sooriyabandara/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, 'විද්‍යාත්මකව දත්ත හැදෑරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක්' - වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර

කෙසේ වෙතත්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, විද්‍යාත්මකව දත්ත හැදෑරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් දැනටමත් ආරම්භ කර ඇති බවය.

එම දත්ත රැස් කිරීම, වනජීවී දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව, බාහිර පර්යේෂකයින් සහ විශ්ලේෂකයින් එක්ව සිදු කරන බව ඔහු සඳහන් කළේය.

"මම ඒ දත්ත ගැන විශ්ලේෂණයක් පරීක්ෂා කළා. ඒක ඉතා ම සංකීර්ණ අධ්‍යයනයක්. ඒ දත්ත විශ්ලේෂණය කරල යම් ක්‍රමවේදයක් සකස් කරන්න කාලයක් ගත වෙයි."

"පරීක්ෂණ ක්‍රියාත්මකයි"

මේ අතර, දුම්රියවල වන අලි ගැටීම් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ඒ ඩී ජී සෙනෙවිරත්න පැවසීය.

ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ වාර්තාව 25 වෙනි දා ලැබෙන අතර, එම වාර්තාව විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.

Department of Wildlife Conservation - Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Department of Wildlife Conservation - Sri Lanka

කෙසේ වෙතත්, සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ ලේකම් නයනක රන්වැල්ල පෙන්වා දෙන්නේ, මෙම ප්‍රශ්නය නිසා රටේ මහ ජනතාවගේ සම්පත් තුන් ආකාරයකට විනාශ වන බවය.

"මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න බලධාරීන්ට වුවමනාවක් නෑ. මේ ගැටලුව නිසා රටේ සම්පතක් වන 'වන අලි' විනාශ වෙනවා. දුම්රියවලට හානි සිදු වෙනවා. ඒ දුම්රිය අලුත්වැඩියා කරන්න රටේ ජනතාවගේ මුදල් වැය වෙනවා. ඒ ආකාරයට තුන් විදියකින් රටේ සම්පත් විනාශ වෙනවා."

වන අලිගහනය

ශ්‍රී ලංකාවේ වන අලි සංගණනයක් අවසන් වරට සිදු කෙරුණේ, 2011 වසරේදීය.

වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, එම වන අලි සංගණනයට අනුව වන අලි 5879 දෙනෙකු පිළිබඳ දත්ත රැස් කරගත් බවය.

ඉන්පසු මෙතෙක් වන අලි සම්බන්ධයෙන් සංගණනයක් සිදු කර නොමැත.