මිනිසුන් සමග සහයෝගයෙන් නගරවල වෙසෙන දකුණු ඉන්දීය වන අලි

Wild elephant Ganesan

ඡායාරූප මූලාශ්‍රය, The Shola Trust

ඡායාරූප ශීර්ෂ වැකිය, ගනේෂන් වැනි වන අලි ඉක්මනින්ම මිනිසුන් සමග විසීමට හුරු වූහ
    • Author, ස්වාමිනාදන් නටරාජන්
    • Role, BBC ලෝක සේවය

වසර කීපයකට පෙර, ඉන්දියාවේ පටු කඳුකර පාරක සිය රිය ධාවනය කරමින් සිටි තර්ෂ් තිකේකරා, පාර දිගේ තමා දෙසට ඇවිදගෙන එන විශාල පිරිමි අලියෙකු දුටුවේ ය.

"එතන යූ ටර්න් එකක් ගහන්න ඉඩක් තිබුණේ නෑ. ඉතින් මම කාර් එක නවත්තලා, ඒකෙන් එළියට පැනලා ආපු පැත්තටම දුවන්න ගත්තා," තිකේකරා BBC වෙත ප්‍රකාශ කළේ ය.

"අපි පිරිමි අලියෙක්ගේ ළඟටම ගියොත් ඌ පහරදෙනවා. අපි වාහනයක් ඇතුළේ හිටියා වුණත්, උන් බොරුවට පහරදෙන්න වගේ අපි දිහාට දුවගෙන එනවා."

කෙසේ නමුත්, පාරේ ගැට්ටට වී ගමන් කරමින් සිටි ප්‍රදේශවාසී ළමයි පිරිසක් තිකේකරාගේ කලබලය දැක සමච්චලයට මෙන් සිනාසුනෝ ය.

"ඒ ළමයි මට කිව්වා කලබල වෙන්න එපා, මේ අලියා නිකන් එළදෙනෙක් වගේ කියලා. ඌ එන්නේ වතුර බීලා යන්න, උගෙන් කිසි කරදරයක් වෙන්නේ නෑ කිව්වා."

ළමුන් පැවසූ දෙය සත්‍ය විය.

තිකේකරා පුදුමයට පත්කරමින් ඔහු නොසලකා හැරි අලියා, ඔහු පසුකර දියවලක් කරා ගමන් ගත්තේ ය.

තිකේකරා හස්තීන් අධ්‍යයනය කරන පර්යේෂකයෙකි. ඔහු, ඉහත සිද්ධිය සිදුවූ දකුණු ඉන්දීය ගුඩලුර් වන අඩවියේ අධ්‍යයනයක නියැලෙමින් සිටි අතර, අලියාගේ හැසිරීම අසාමාන්‍ය බව හැඟුණු හෙයින් එහි සුලමුල සොයාගියේ ය.

නගරෙට එන, එහිම නවතින අලි

An elephant eating waste food

ඡායාරූප මූලාශ්‍රය, The Shola Trust

ඡායාරූප ශීර්ෂ වැකිය, "අලි වගාබෝග යි උයපු කෑම යි කද්දී, ඒවායින් උන්ට ලැබෙන කැලරි ප්‍රමාණය ඉතාම වැඩියි. මේ නිසා උන්ට ගොඩක් කෑම කන්න අවශ්‍ය වෙන්නේ නැහැ"

ප්‍රදේශවාසීන් මෙම අලියා "ගනේෂන්" ලෙස නම්කර ඇති බව තිකේකරා පසුව දැනගත්තේ ය. ("ගනේෂ්" යනු හින්දු ආගමේ එන ගණ දෙවියන්ට කියන නමකි).

ලොව බොහෝ තැන්වල, ආහාර සහ ජලය සොයා මනුෂ්‍යවාසයන්ට පැමිණෙන අලින් දැකගත හැකිය.

සාමාන්‍යයෙන් මේ අලි දින කීපයකට පසු නැවතත් කැලෑව වෙත ඇදෙති. නමුත් මෙම අලියා වැනිම බොහෝ දකුණු ඉන්දීය වන අලි මිනිසා ආශ්‍රයේ විසීමට අනුවර්තනය වෙමින් සිටිනවා පමණක් නොව, විශාල වනාන්තරවලට මායිම්ව පිහිටි නගරවල වසරේ වැඩි කාලයක් ගතකරති.

ගුඩලුර් ටවුමේ සහ යාබද ගම්මානවල ජනගහණය 250 000ක් පමණ වේ. තේ සහ කෝපි වගාවන් ද සමග සම්මිශ්‍රව ඇති වර්ග කිලෝමීටර 500ක වනාන්තරය වන අලින් 150කට පමණ නිවහන සලසයි.

මේ ඇතැම් අලින් නගරබද දිවියට කෙතෙක් හුරුවී ඇත් ද යත්, උන් ඉදිරියේ රතිඤ්ඤා දැල්වූව ද මහා හඬින් බෙර වාදනය කළ ද, ගනේෂන් වැනි අලින්, කලබල වන්නේ හෝ මිනිසුන්ට පහර දෙන්නේ නැත.

"මේ ඔක්කොම දේවල් මම මෙතෙක් දැනන් හිටි කාරණාවලට ප්‍රතිවිරුද්ධ වුණා," සිද්ධිය සිහිපත් කරමින් තිකේකරා කියයි. "ඒ අලියා සාමාන්‍යයෙන් කෙරෙන විදියට පැනලා දිව්වේවත්, පහර දුන්නේවත් නැහැ."

සතුන්ගේ ශුභසිද්ධිය සඳහා වන විවිධාකාරයේ සංවිධානයන් අලින් හීලෑ කිරීමේ සහ පුහුණු කිරීමේ සිරිතට දැඩිව විරුද්ධ වූවත්, ලොව බොහෝ රටවල තවමත් එසේ සිදුවේ.

මෙම ක්‍රියාවලියට මාස ගණනාවක් වැය විය හැකි අතර, අලියා "ඇත්ගොව්වාට කීකරු වීමට ඉගෙනගන්නා තුරු" උන් තනිකර තැබීම හෝ වධහිංසා පැමිණවීම සිදුකෙරෙයි.

කෙසේ නමුත් තිකේකරාගේ අනාවරණයෙන් පෙනෙන්නට තිබෙන්නේ මිනිසා සමග සහයෝගයෙන් වෙසෙන අයුරු තමා විසින්ම උගෙනීමට අලින්ට හැකි බව යි.

වතුර ටැංකිවලින් බොති. ආහාර සොරකම් කරති. නමුත් මිනිසුන්ට හානියක් නොවෙති.

Ganesan sleeping along the roadside

ඡායාරූප මූලාශ්‍රය, The Shola Trust

ඡායාරූප ශීර්ෂ වැකිය, මග අසල නිදන ගනේෂන්

ගුඩලුර් අලි ආවේක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂකයා ලෙස ප්‍රදේශයේ වෙසෙනා සියලු අලින් අධ්‍යයනය කිරීමට තිකේකරා තීරණය කළේ ය. ඔහු වන අලින් 90 දෙනෙකු සහ උන්ගේ හැසිරීම් වෙන්කර හඳුනාගැනීමට සමත් වූ අතර, එයින් 5ක් මිනිසුන් සමග වාසය කරන්නන් විය.

නගරයේ වාසය කිරීමට යන අලින් හැමවිටම වයසින් වැඩි පිරිමි සතුන් බව අධ්‍යයනයෙන් පැහැදිලි වූ අතර, උන් එහි ජිවත්වීමත් ආහාර සහ ජලය සොයාගැනීමත් සිදුකරන්නේ කෙසේදැ යි එහිදී හෙළිදරව් විය.

"අපි අවුරුදු තුනක් තිස්සේ ගනේෂන්ව නිරීක්ෂණය කළා. ඌ කවදාවත් ආපිට කැලේට ගියේ නැහැ. ඌ මුළු කාලයම ගෙව්වේ මිනිස්සු අතරේ."

"ඌ නිතරම නිදාගත්තේ පාරවල් අයිනේ. ඌ බස් ඇතුළට හොඬවැල දානවාත්, සමහර වෙලාවට වින්ඩ්ෂීල්ඩ් එක කඩනවාත් දැකලා තිබුණා. ඌ ත්‍රීවීලර් කීපෙකට නම් පහරදුන්නා."

නිවෙස්වල ඉදිකර තිබූ වතුර ටැංකිවලින් සිය ජල අවශ්‍යතාව සපුරාගන්නට ද ගනේෂන් හුරුව සිටියේ ය.

මේ අලියා ඇතැම්විට තේ වතුවල වැඩ කටයුතුවලට බාධා එල්ල කළත්, පාරේ ගමන් කරන රථ වාහන නවතාගෙන සිටියත්, වෙළඳුන්ගෙන් පළතුරු එළවළු ආදිය සොරකම් කළත්, කිසිදා මිනිසෙකුට පහර දුන්නේ නැත.

ගුඩලුර් වැටිය, ඉන්දීය ප්‍රාන්තයන් තුනක් හරහා විහිදෙන නීලගිරි ජෛවගෝල රක්ෂිතයේ කොටසකි. එම වනාන්තරයන් අලින් 6000කට අධික සංඛ්‍යාවකට නිවහන වෙයි. මෙම නිම්නෝන්නත බිමේ ඉතා සුවෙන් වැඩෙන ව්‍යාඝ්‍ර ගහණයක් ද වෙසෙන අතර, ඉන්දියාවේ ඉතා දැඩිව සංරක්ෂිත වනාන්තරයන්ගෙන් ද එකකි.

නගරවල වෙසෙන වන අලින් අඩුම තරමින් විසි දෙනෙකුවත් දකුණු ඉන්දියාවේ සිටින බව තිකේකරා අනුමාන කරයි. ඉතා ප්‍රසිද්ධ කඳුකර සංචාරක ගමනාන්තයක් වන ඌටිහි වාසය කරන රිවාල්ඩෝ ද තවත් එවැනි අලියෙකි.

People taking photos of big elephant on a main road

ඡායාරූප මූලාශ්‍රය, Hadlee Renjith

රිවාල්ඩෝ, මිනිසෙකු අනුභව කරමින් සිටි කුකුළු මස් බිරියානියක් සැණින් පැහැරගෙන ගිල දමනු දැක්වෙන විඩියෝවක් සමාජජාලයන්හි ඉතා ඉක්මනින් පැතිරී ගිය අතර, මෙය එකල බොහෝදෙනාගේ සිත්වල කුතුහලයක් ඇති කළේ ය.

නමුත් අලින් අධ්‍යයනය කරන තිකේකරාට මෙම සිද්ධිය පැහැදිලි කිරීම අපහසු වූයේ නැත.

"අලි බත්වලට යි, ලුණු රසට යි කැමතියි. යහමින් ලුණු රහ ඒ බත් එකේ චිකන් කෑල්ලකුත් තිබ්බ එක යි වුණේ," තිකේකරා කියයි. අලි ශාකභක්ෂකයෝ වෙති.

වන අලින් උන්ගේ කාලයෙන් වැඩි කොටසක් වැය කරන්නේ ආහාර සහ ජලය සොයාගැනීම සඳහා ය. තිකේකරා පවසන්නේ නගරබද පෙදෙසකින් ආහාර සහ ජලය සොයාගැනීම දෙපැයකට අඩු කාලයකින් කළ හැකි බව යි.

"අලි වගාබෝග යි උයපු කෑම යි කද්දී, ඒවායින් උන්ට ලැබෙන කැලරි ප්‍රමාණය ඉතාම වැඩියි. මේ නිසා උන්ට ගොඩක් කෑම කන්න අවශ්‍ය වෙන්නේ නැහැ."

නමුත් මෙහි අවාසිදායක පැතිකඩ වන්නේ, මේ බොහෝ ආහාර පෝෂණ ගුණයෙන් අවමවීම, සහ විශාල දුර ප්‍රමාණයන් ඇවිදීමට අලියාට ඇති අවශ්‍යතාව නැතිකර දැමීම යි.

"ඒ නිසා මේ අලි දවසෙන් වැඩි වෙලාවක් කරන්නේ කොහෙට හරි වෙලා හිටගෙන ඉන්න එක. මේ අලි සාපේක්ෂව ප්‍රමාණයෙන් ලොකු ඒකයි."

Ganesan stopping a bus

ඡායාරූප මූලාශ්‍රය, The Shola Trust

කියවන්න:

මිනිසා ද මෙයට හැඩගැසිය යුතුයි

වසරෙන් වසර කාලය ගෙවෙද්දී, අලින් සමග නොගැටී සිය ජීවිකාව උපයා ගන්නට නම් අලින් තමන්ට පහර නොදී තමන් සමග විසීමට හැඩගැසුනාක් මෙන්, තමන් ද අලි සමග විසීමට හැඩගැසිය යුතු බව ප්‍රදේශවාසීහු අවබෝධකර ගත්හ.

භාරදන්, නගරබදව වෙසෙන අලින් අතර විශාලතම අලියෙකි. ඌ ගුඩලුර්හි පිහිටි කුඩා නගරයක් වන තෝරපල්ලි වෙත දිනපතා පැමිණෙන්නේ, ඉතුරුබිතුරු ආහාර රැසක් ඌ වෙනුවෙන්ම වෙන්කර තබාගෙන සිටින කුඩා අවන්හලක් වෙත යෑමටය.

"හෝටලේ අයිතිකාරයෝ හෝටලේ ඉතිරිවෙන එළවළු ආදිය යි, කෙහෙල් කොළයි (දකුණු ඉන්දියාවේ අවන්හල්වල ආහාර බෙදන්නේ කෙසෙල් කොළයටයි) ඌට ඉතිරි කරගෙන ඉන්නවා."

අවන්හලක හිඳ රාත්‍රී ආහාරය ගනිමින් සිටිය දී භාරදන් දුටු බව තිකේකරාට මතක ය.

"අලියා කන්න පටන්ගත්තාම එතනට මිනිස්සු රැස් වුණා. සමහරු ෆොටෝ ගන්න පටන්ගත්තා. එක තරුණ කොල්ලෙක් හරි උද්යෝගෙන් හිටියේ. එයා හොඳ ෆොටෝ එකක් ගන්න බලාගෙන අලියාගේ වලිගෙන් ඇද්දා."

එම තරුණයාට අවශ්‍යව තිබුණේ අලියා පිටුපස හැරී කැමරාවට මුහුණ දීම යි.

"මම ගැස්සිලා ගියා. රටේ වෙන දිහාවක නම් මීට වඩා සුළු හේතු නිසා මනුස්සයෙක් මැරෙන්න පුළුවන්. මේ අලියා තමන්ගේ කකුල පස්සට ගැසුවාට, ඒක කොල්ලගේ ඇඟේ වැදුණේ නෑ. ඊට පස්සේ ඌ ආයෙත් කෑම කන්න පටන්ගත්තා."

අලියා මිනිසුන්ට පහරදුන්නේ නැත. උගේ මේ සන්සුන් විලාසය නිසා භාරදන් 'හොඳ කොල්ලෙකු' ලෙස කීර්තියක් ද ලැබුවේ ය. ප්‍රදේශවාසීහු ඇතැම්විට ඌට සුරතලෙකුට මෙන් සැලකූ අතර, ඌ හා කතා කරන්නට පවා පෙළඹුනහ.

Bharadan near a restaurant

ඡායාරූප මූලාශ්‍රය, The Shola Trust

කෙසේ නමුත් ඒ ආසන්න කාලයේ දීම තරුණ පිරිමි අලින් දෙදෙනෙකු භාරදන්ගේ මේ ගමන්බිමන්වලට සම්බන්ධ වීමෙන් අනතුරුව තත්ත්වය වෙනස්විය.

උන් පළතුරු සහ එළවළු කෑම සඳහා වෙළඳසැල්හි ජනේල සහ කවුළු බිඳ දැමුවෝ ය.

භාරදන් මෙන් නොව, මේ තරුණ අලි නිතර මිනිසුන් පසුපස හැඹූ අතර භීතියෙන් පිරි කලබලකාරී වාතාවරණයක් ඇති කළෝ ය.

පිටවී යෑම ප්‍රතික්ෂේප කරන අලි

වන සතුන් පහරදීමට තීරණය කළහොත් මිනිස් මරණයන් සිදුවේයැ යි එම ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භීතියට පත්විය. එනිසා රිවාල්ඩෝගේ සිදුවීමේ දී, ඌ නැවතත් කැලයට පිටත් කිරීමට දෙපාර්තමේන්තුව කීප විටෙකම උත්සාහ ගත්තේ ය.

රිවාල්ඩෝ ඌටි ටවුමට පැමිණීම ඇරඹුණේ "එක මනුස්සයෙක් අලින්ට කන්න කියලා කොස් ගෙඩි තියලා යන්න පටන්ගත්තට පස්සේ," තිකේකරා පැහැදිලි කරයි.

රිවාල්ඩෝ කොස්ගෙඩිය ආහාරයට ගැනීමෙන් පසුව ද ඉවත්ව නොගියේ ය. ඉන්පසු නිවාඩු නිකේතනයේ හිමිකරුවන් රිවාල්ඩෝට දිගටම ආහාර ලබාදුන් අතර, රිවාල්ඩෝ හොඳ සංචාරක ආකර්ෂණයක් බවට පත්විය. මෙය රිවාල්ඩෝට ද ගැටලුවක් නොවන බව පෙනුණු අතර, ඌ ද 'කොස් ව්‍යාපෘතියට' සහාය දුන්නේ ය.

කාලය ගතවෙද්දී අලින් සහ ප්‍රදේශවාසීන් යන දෙකොටස කෙරෙන්ම එකිනෙකා කෙරෙහි තිබූ බිය පහව යනු දක්නට ලැබුණි. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බිය පහව නොගියේ ය. අලින් දිනෙක මිනිසුන්ට පහර දෙනු ඇතැ යි සිතූ ඔවුන් "පුහුණු කළ අලින්ගේ" උපකාරයෙන් මේ වන අලින් නැවතත් වනාන්තරය වෙත යැවීමට උත්සාහ කළේ ය. රිවාල්ඩෝ අල්ලාගනු ලැබූ අතර, ඌ වනාන්තරයේ ඈතට ගෙනගොස් නිදහස් කර දැමුණි.

නමුත් පැය 24ක් ඇතුළත කිලෝමීටර 40ක් ගමන්කළ මෙම සත්ත්වයා පසුදින නැවතත් නගරයට පැමිණීමට සමත්විය.

තිකේකරා පවසන්නේ මේ අලියා වසර 15ක් තිස්සේ නගරයේ ජීවත් වන බව යි. ඌ මිනිසුන් අතර ජීවිතයට හැඩගැසුණු පළමු අලින්ගෙන් එකෙකු බව ඔහු පවසයි.

Rivaldo in Ooty

ඡායාරූප මූලාශ්‍රය, The Shola Trust

වන සතුන් මිනිසුන්ට හිරිහැර කරනවා ද?

පසුගිය වසර 8ක කාලය තුළ වන අලින්ගෙන් පහර කෑම නිසා ගුඩලුර් වන ප්‍රදේශයේ දී මියගිය මිනිසුන් ගණන 75කි. නමුත් 'නගරවාසී අලියෙකු' වැරදිකරු වන්නේ මෙයින් එක් මරණයකට පමණි.

එම අලියා (ජේම්ස් ලෝරිස්ටන්) තවමත් මිනිසුන් සමග වෙසෙන බව තිකේකරා කියයි. මෙයට හේතු වී ඇත්තේ එම අලියා අතින් සිදුවූ මිනිස් මරණය හිතාමතා සිදුකළ දෙයක් නොව අත්වැරදීමක් බව මිනිසුන් දුටු නිසායැ යි ඔහු පවසයි.

"ඒ පැත්තේ මිනිස්සු අලින්ගෙන් පහර කාලා මැරුණාම පවා, මිනිස්සු නගරේ අලින්ට කරදර කරන්නේ නැහැ. ඒ අලි සාමකාමී බව මිනිස්සු දන්නවා."

අනාගතයේ දී තව තවත් අලින් සහ මිනිසුන් සහයෝගයෙන් වෙසෙයි ද?

ඉන්දියාවේ අලින් 27 000ක් පමණ ජීවත් වන අතර, මෙයින් වැඩිදෙනා රක්ෂිත වනාන්තරවලින් පිටත වෙසෙයි.

අලින් සහ මිනිසුන් එකිනෙකා හා විසුමට අනුවර්තනය වන ආකාරය අනුව, මෙම සතුන්ගේ ගහණයේ ආරක්ෂාව ඉහළ යනු ඇති බව තිකේකරාගේ විශ්වාසය යි.

"ජීව විද්‍යාවෙන් උපකල්පනය කරන්නේ ජීවී විශේෂ යම් නිශ්චිත ආකාරයකට හැසිරෙනවා කියලයි. නමුත් දැන් අපට සිද්ධ වෙනවා උන් ගැන වැඩිදුර තොරතුරු දැනගන්න නම් තනි තනි අලින්ගේ පෞරුෂත්වයන් අධ්‍යයනය කරන්න. ඒක දැන් පටන්ගැනෙමින් තියෙනවා."

Ganesan in the tea garden

ඡායාරූප මූලාශ්‍රය, The Shola Trust

ඔක්ස්ෆර්ඩ්හි අධ්‍යාපනය ලැබූ මේ පර්යේෂකයා, 'කරදරකාරී' අලින් හඳුනාගැනීමටත්, අලි සංරක්ෂණයටත් සිය ව්‍යාපෘතිය උපකාර වේයැ යි උදක්ම අපේක්ෂා කරයි.

වන අලින් වනාන්තර අත්හැර දමා වැඩි වැඩියෙන් මිනිස් වාසයට යෑමේ රටාවක් නිරීක්ෂණය කරන ඔහු, මෙම ප්‍රවණතාව චිරස්ථායී බව පුරෝකථනය කරයි.

"අපට දැන් මිනිස්සු ජීවත්වෙන පැත්තක ඉන්න අලි තුන් දෙනෙකුගේ රංචුවක් ඉන්නවා, ගෑණු සත්තු දෙන්න යි, පැටිය යි. අලි අම්මලාට සාමාන්‍යයෙන් සාමකාමී වෙන්න බැහැ, මොකද එයාලට පැටවු රැකබලා ගන්න තියෙන නිසා. ඒත් මේ අලි රංචුව පාර අයිනක සාමකාමීව ජීවත්වෙනවා අපි දකිනවා."

දැන් මේ 'නගරවාසී අලින්' නගරබද බොහෝ ජනයාගේ හදවත් පැහැරගෙන ඇත.

අවාසනාවකට ගනේෂන්, තිකේකරා දුටු අලියා, මින් බොහෝ කලකට ඉහත එක්තරා කඳු පාරක දී ඇදවැටීමකින් සිදුවූ තුවාල හේතුවෙන් මරණයට පත්වූයේ ය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගනේෂන් භූමදානය කෙරුණු පසු එක්රැස් වූ නගරවාසීහු, තමා සමග වසර 8ක් තිස්සේ වාසය කළ සත්ත්වයා කෙරෙහි වූ ආදරය සහ ගෞරවය දක්වමින් අලියාගේ අවමංගල්‍ය චාරිත්‍ර කටයුතු ඉටුකළහ.