අප්‍රිකාවේ සහ ශ්‍රී ලංකාවේ දළ ඇතුන්ගේ ඉරණම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අප්‍රිකාවේ අලි ඇතුන් දඩයම අඛණ්ඩව පස්වෙනි වසරටත් පහළ ගොස් ඇති අතර ලොව පුරා ඇත් දළ තොග අල්ලා ගැනීම් පසුගිය වසර තුළ වාර්තාගත මට්ටමකට ළඟා වී ඇති බව වාර්තාවක් පෙන්වා දෙයි.
වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින සත්ත්ව විශේෂ වෙළෙඳාම සම්බන්ධයෙන් කටයුතු කරන Cites ආයතනයේ වාර්තාවකට අනුව ජාවාරම් කරන ලද ඇත් දළ ටොන් 40 සොයා ගෙන ඇත.
පසුගිය දශකය තුළ අප්‍රිකානු අලි ඇතුන් 111,000 දඩයමට ලක්ව ඇති අතර එසේ දඩයමට ලක් වීමේ වේගය කලාප ගණනාවක් තුළ ඒකාකාර මට්ටමකට ළඟා වී තිබේ.
එම තත්ත්වය සතුටුදායක නමුත් අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් Cites ආයතනය තවදුරටත් අනතුරු අඟවයි.
"ගෝලීය වශයෙන් දියත් කර තිබෙන සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵල ලැබෙන්න පටන් ගෙන තිබෙනවා. නමුත් නිසැකවම අප තවමත් අවශ්‍ය තැනට ළඟා වී නැහැ" යනුවෙන් එම ආයතනයේ මහ ලේකම් ජෝන් ස්කැන්ලන් පැවසීය.
අදාළ වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ආසියාව වෙත දළ තොග වශයෙන් අපනයනය නොකර ඒවා යොදා ගනිමින් ආභරණ නිර්මාණය කිරීම අප්‍රිකාව තුළ ඉහළ යමින් පවතින තත්ත්වයක් තුළදීය.
තොග වශයෙන් ජාවාරම් කෙරෙන ඇත් දළ අල්ලා ගැනීම පහසුය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය දශකය තුළ බරපතළ ලෙස අලි ඇතුන් දඩයමට ලක් වූ නැගෙනහිර අප්‍රිකාව විශේෂ ප්‍රගතියක් ලබා ඇති බව ජෝන් ස්කැන්ලන් සඳහන් කළේය.
"දඩයම ඉහළම මට්ටමට ළඟා වූ 2011සිට ස්ථීර පහළ යාමක් දක්නට තිබෙනවා. දඩයමට ලක් වීමේ නැඹුරුව සමස්තයක් වශයෙන් 2008 වසරේ තිබූ මට්ටම දක්වා පහළ ගොස් ඇති බව 2016 වසරේ විශ්ලේෂණ මගින් නිගමනය කළ හැකියි" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය දශකයක කාලය ඇතුළත බොට්ස්වානා, දකුණු අප්‍රිකාව සහ නැමීබියාවේ අලි ඇතුන් සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි වුවත් මධ්‍යම අප්‍රිකාවේ අලි ගහනයේ විශාල පහළ යාමක් දැකිය හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති.
එම කලාපය තුළ නීති විරෝධී අලි දඩයම ඉහළ මට්ටමක පවතින බවත් ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවේ තත්ත්වය

ශ්‍රී ලංකා රේගුව භාරයේ වසර තුනකට අධික කාලයක් පැවති ඇත් දළ තොගයක් 2016 වසරේ ජනවාරි මාසයේ දී කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ විනාශ කෙරිණි. දළ ලබා ගැනීමට මරා දැමුණු සතුන් වෙනුවෙන් සර්වාගමික නායකයන් පැවැත්වූ ආගමික වතාවත්වලින් අනතුරුව එසේ එම දළ විනාශ කෙරිණි.
රුපියල් මිලියන 400 ක් පමණ වටිනා එම ඇත් දළ තොගය කොළඹ වාරයේදී අත්අඩංගුවට ගැනුණේ 2012 මැයි මස 12 වෙනිදා ය.
මේ අතර ශ්‍රී ලංකාව තුළ වසරකට අලි ඇතුන් 200 ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වේ
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් වනජීවී භාරයේ අධ්‍යක්ෂ සී.සී හිදැල්ලආරච්චි කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන් මූලික වශයෙන් මරණයට පත් වන්නේ අලි මිනිස් ගැටුමට මැදිවීමෙන් බවය.
සංස්කෘතිමය කරුණු මත ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන්ට සුවිශේෂී ස්ථානයක් පවතින බැවින් ඔවුන් දඩයම් කිරීම ඉතාමත් පහළ මට්ටමක පවතින බව කී වනජීවී භාරයේ අධ්‍යක්ෂවරයා අප්‍රිකානු අලින්ගෙන් 99% දළ පිහිටියත් ශ්‍රී ලංකාවේ අලි අතරින් දළ පිහිටා ඇත්තේ 5% අඩු ප්‍රමාණයකට බව පෙන්වා දුණි.
යටත් විජිත පාලන සමයේ දළ ලබා ගැනීම පිණිස ඇතුන් විශාල වශයෙන් දඩයම් කිරීම ද ශ්‍රී ලංකාවේ ඇත් ගහනය පහළ යාමට හේතු වූ බව ඔහු සඳහන් කළේය.
"ඇත් දළ වෙළෙඳාම සඳහා අපේ ඇතුන් අල්ලලා මරලා, විශේෂයෙන්ම යුරෝපයට අරන් ගියා. ඇතුන්ගේ වඳ වීමේ ස්වභාවයට එය අද බලපා තිබෙනවා"

ඡායාරූප මූලාශ්‍රය, Asanka Premaratne
ඇත් ගහනය අල්ප බැවින් ශ්‍රී ලංකාවේ කැලෑ තුළ වෙසෙන ඇතුන් නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබී ඇති බව කී වනජීවී භාරයේ අධ්‍යක්ෂවරයා "ඇතෙකු අඩු වුනොත් මොකද වුනේ කියලා මිනිස්සු හොයනවා. ඒ නිසා මරණ ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා" යනුවෙන් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ අලි අතුන් 7000 ආසන්න සංඛ්‍යාවක් වෙසෙන බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ.
පසුගිය දශක තුන ඇතුළත කාලය හා බැලීමේ දී අලි ගහනයේ යම් අඩුවක් දක්නට ඇති බව කී වනජීවී භාරයේ අධ්‍යක්ෂ සී.සී හිදැල්ලආරච්චි වනජීවී අමාත්‍යංශය ලබන වසරේ ජනවාරි මාසයේ දී අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළේය.
සබැඳි යොමු:












