කවුද මේ සමාජ ජාලවල හුවමාරු වන "පඟර නැට්ටා"?

එක් අයෙකු විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඉහත කී ඡායාරූප පෙළ හුවමාරු වී (Share) තිබූ වාර ගණන විසි පන්දහසකට අධිකය

ඡායාරූප මූලාශ්‍රය, facebook.com

ඡායාරූප ශීර්ෂ වැකිය, එක් අයෙකු විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඉහත කී ඡායාරූප පෙළ හුවමාරු වී (Share) තිබූ වාර ගණන විසි පන්දහසකට අධිකය

"පගර නැට්ටා.. දැකල නෑ නේ ඕන්", "ඔන්න බලන්න පඟර නැට්ටා දැකල නැති අය", "පඟර නැට්ටා...අහල තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ"

ඉහත දැක්වෙන ශීර්ෂ පාඨ යටතේ "පඟර නැට්ටා" නමැති සතෙකුගේ යයි සඳහන් ඡායාරූප පෙළක් පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.

එසේ එක් අයෙකු විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඉහත කී ඡායාරූප පෙළ හුවමාරු වී (Share) තිබූ වාර ගණන විසි පන්දහසකට අධිකය.

ඇතැමුන් හුදෙක් උපහාසය සඳහා එම ඡායාරූප හුවමාරු කර ගෙන තිබූ අතර තවත් සමහරෙක් එය සැබෑවක් යයි සලකා අදහස් පළ කර ඇති ආකාරයත් දක්නට ලැබිණි.

එම ඡායාරූප පෙළේ දක්නට ඇති සත්වයා මුගටියෙකු බව වනජීවී පශු වෛද්‍ය නිලධාරී සංගමයේ පශු වෛද්‍ය විජිත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

"පඟර නැට්ටා" සහ මුගටියා

වීඩියෝ ශීර්ෂ වැකිය, කවුද මේ සමාජ ජාලවල හුවමාරු වන "පඟර නැට්ටා"

මේ අතර පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේ "පඟර නැට්ටා" නමින් සතෙකු නොමැති බවය.

මුගටියෙකුගේ හම ඉතිරි වෙන සේ කඳ කොටස ඉවත් කර ඉහත කී ඡායාරූප ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

"කිසිම ක්ෂීරපායී සතෙක් නැහැ පාද රහිත. එවැනි සතෙකුට ගොඩබිම ජීවත් වෙන්නත් බැහැ කියන දේ තේරුම් ගත යුතුයි."

"අනෙක් කාරණය තමයි මේ සතාගේ හිසත් කඳත් අතර තිබෙන පරස්පරතාව. ඕනෑම කෙනෙකුට පෙන්වා මේ වගේ සතෙකුට දීර්ඝ කාලයක් ජීවතුන් අතර ඉන්න බැරි බව. මොකද මෙපමණ ලොකු හිසක් තල්ලු කර ගෙන ඉදිරියට යන්න මෙච්චර සිහින් කඳකට ශක්තියක් ජවයක් නැහැ"

line
line

මනඃකල්පිත නමක් සතෙකුට ආරූඪ කර පළ කිරීමෙන් සමාජ ජාල තුළ වැරදි අවබෝධයක් ඇති විය හැකි බව කී නීතිඥ ජගත් ගුණවර්ධන එය ව්‍යාජ ඡායාරූපයක් ලෙස හැඳින්විය හැකි බව සඳහන් කළේය.

"එවැනි දේවල්වලින් අපි පරිස්සම් විය යුතුයි. ජනතාවත් දුටු පමණින් එවැනි දෑ විශ්වාස නොකළ යුතුයි. මේවට අපි කියනවා ව්‍යාජ පුවත් නැතිනම් ෆේක් නිව්ස් (Fake News) "

"පඟර නැට්ටා" යන යෙදුම සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින යෙදුමකි.

සිංහල භාෂාව

වීඩියෝ ශීර්ෂ වැකිය, සිංහල කටවහරට එක් වන වචන

එවැනි යෙදුමක් සිංහල භාෂාවේ නැතත් කතා කරන භාෂාවට වරින් වර එවැනි වචන එකතුවන බව සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායක බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

"එවැනි වචන භාෂාව තුළ මුල් බැස ගන්නේ නැහැ. කලක් ගිහින් නැති වෙනවා" යනුවෙන් කී සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායක, ඊට උදාහරණ දෙමින් සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් හැඳින්වීමට කලක් "වාලක්කඩියා" යන වචනය භාවිත වූ බවය.

ඒ ආකාරයට බලන විට "පඟර නැට්ටා" යන යෙදුම යමකු අපහාසයට ලක් කිරීම සඳහා සාදා ගත්තක් බව පෙනෙන්නට ඇතැයි සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.

ව්‍යාජ පුවත් (Fake News) සහ ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් සැරිසරන අතර එවැනි පුවත් පළ කරනු ලබන පුද්ගලයන්ගේ අරමුණ එකිනෙකට වෙනස් විය හැක.

ව්‍යාජ පුවතක් යනු?

ව්‍යාජ පුවත්

ව්‍යාජ පුවත් වර්ග දෙකකි

  • සත්‍ය නොවන යමක් පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් හෝ වෙබ් අඩවි වෙත වැඩි අවධානයක් යොමු කරවා ගැනීම සඳහා ඇතැම් පිරිස් සිතාමතාම ව්‍යාජ පුවත් පළ කරති.
  • ඇතැම් වාර්තාවල යම් සත්‍යයක් තිබුණ ද ඒවා සම්පූර්ණයෙන් නිවැරදි වාර්තා නොවේ. උදාහරණ: පුවතක් පළ කිරීමට ප්‍රථම මාධ්‍යවේදීන් හෝ බ්ලොග් ලේඛකයන් විසින් ඊට සම්බන්ධ කරුණු පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු නොකිරීම හෝ කරුණු උලුප්පා වාර්තා කිරීම.
line

ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයකි.

  • අදාළ පුවත වෙනත් අයකු විසින් පළ කරනු ලැබ ඇත්දැයි සොයා බැලීම
  • අදාළ පුවත ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ පුවත්පතක පළකොට ඇත්දැයි සොයා බැලීම
  • අදාළ පුවත පළ කරනු ලැබ ඇති ආයතනය හෝ ෆේස්බුක් පිටුව පිළිබඳ මීට පෙර අසා තිබේද?
  • අදාළ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ විශ්වසනීයත්වය
  • ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය (ඇතැම් විට සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ව්‍යාජ පුවත් පළ වේ)
  • අදාළ පුවත විශ්වාස දනවන සුළු දැයි යන්න සිතාබැලීම

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක.