සැකකරුවන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින නීතිඥවරුන්ගේ කාර්යභාරය කුමක්ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 7

අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට නුදුරින් ඇති සුපිරි වෙළෙඳසලක රථ ගාලේදී පෙබරවාරි 13 වන දා පස්වරුවේ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිඳ (42) වෙඩි තබා ඝාතනය කෙරුණි.

කෙසේ නමුත් ඒ හා සම්බන්ධ විවිධ මත සමාජ මාධ්‍ය හරහා ඉතා ඉක්මනින් පැතිර ගිය අතර එයින් කැපී පෙනෙන ලෙස අපරාධ චෝදනා ලබන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට එරෙහි "සදාචාර සම්පන්නභාවය" පිළිබඳ ප්‍රශ්න මතු කොට තිබේ.

මෙවන් පසුබිමක විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටින්නේ ඇයි? නීතිමය පසුබිම කුමක්ද? සහ ඒ හරහා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට නීතියෙන් ගැලවීමක් ලබා ගැනීමට හැකි ද? වැනි බොහෝ දෙනෙකු මතු කරන ගැටලු සම්බන්ධව බීබීසී සිංහල සේවය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මේනක හරන්කහගෙන් විමසීමක් සිදු කළේ ය.

'විත්ති පාර්ශවයට සහ පැමිණිලි පාර්ශවයට එක හා සමානව අයිතියක් තිබිය යුතුයි'

ඕනෑ ම පුද්ගලයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු බවට ඔප්පු වන තෙක් එම පුද්ගලයාට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයක් ඇති බව ආචාර්ය මේනක හරන්කහ පෙන්වා දෙයි.

"විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සහාය අවශ්‍ය වෙන්නේ, රටේ පුරවැසියන් සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්ෂාවක් ලබා දී තිබෙන නිසා."

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව කියනවා යමෙකු නීත්‍යානූකූල නොවන ආකාරයෙන් අත්අඩංගුවේ තබා ගැනීම හෝ අත්අඩංගුවට ගැනීම සිදු නොකළ යුතුයි කියන කාරණය. නීතිය ඉදිරියේ වරදකරුවෙක් බවට ඔප්පු කරන තෙක් හැම පුද්ගලයෙකුට ම නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සහාය ලැබිය යුතු බව සහ සාධාරණ නඩු විභාගයක් සඳහා විත්ති පාර්ශවයට සහ පැමිණිලි පාර්ශවයට එක හා සමානව අයිතියක් තිබිය යුතුයි කියන එකත්. මේවා අපේ මූලික අයිතිවාසිකම් වශයෙන් පිළිගෙන තියෙනවා," යැයි ආචාර්යවරයා කියා සිටියේ ය.

සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් සැකකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් බව ආචාර්ය මේනක හරන්කහ පවසයි.

"තමන් වෙනුවෙන් නීතිඥ සහය එහෙම නැත්නම්, නීති පාර්ශවයන්ගේ සහාය ලබා ගැනීමට තියෙන අයිතිය සාධාරණ නඩු විභාගයක් කියන එකේ මූලිකාංගයක්. එහෙම නැතිව එක පාර්ශවයක් විතරක් ඒ අයිතිය ලබා ගන්නා විට අනෙක් පාර්ශවයට එය නොලැබී යන්නේ නම්, එතැනදී නීතිය ඉදිරියේ සාධාරණ නඩු විභාගයක් කියන සංකල්පය බිඳ වැටීමක් සිදුවෙනවා," ඔහු පවසයි.

විත්ති පාර්ශවයට ඇති 'නිහඬව සිටීමේ අයිතිය' යනු කුමක් ද?

සෑම අපරාධයක් ම රාජ්‍යයට එරෙහිව කරන ලද අපරාධයක් යන පදනම මත, මහේස්ත්‍රාත් අධිකරණවලදී පොලිසිය සහ මහාධිකරණයේදී නීතිපති දෙපාර්තුමේන්තුවේ නීතිඥයින් වැනි රජයේ පාර්ශව එම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිනු ලැබේ.

එවැනි අවස්ථාවක විත්ති පාර්ශවය වෙනුවෙන් නීති සහාය නොලැබෙන්නේ නම් එය සාධාරණ නඩු විභාගයක් යන සංකල්පය බිඳ වැටීමට හේතුවක් වන බවත් ආචාර්යවරයා පවසයි.

"අපරාධයකට චෝදනා ලබලා තියෙන පුද්ගලයාට තියෙනවා නීතියෙන් පිළිගත්ත නිශ්ශබ්දව සිටීමේ අයිතිය කියන කාරණය. එයින් අදහස් කරන්නේ, ඔහු විසින් සනාථ කළ යුතු නැහැ තමන්ට එරෙහිව තියෙන චෝදනාවේ තමන් නිවැරදිකරු කියන කාරණය. එය සනාථ කිරීමේ කාර්යභාරය පැවරෙන්නේ චෝදනාව ඉදිරිපත් කරලා තියෙන පැමිණිලිකාර පාර්ශවයට," ඔහු වැඩිදුරටත් පවසයි.

"පැමිණිලිකාර පාර්ශවයට පූර්ණ වගකීම පැවරෙනවා සාධාරණ සැකයකින් තොරව මේ සාපරාධී ක්‍රියාව සිදුකළේ එම සැකකරුය කියන කාරණය සනාථ කරන්න."

"ඒ වගේ අවස්ථාවක විත්ති පාර්ශවයට නිහඬව සිටිමේ අයිතිය මූලික වශයෙන්ම තියෙනවා. ඒ නිහඬව සිටිමේ අයිතිය සාක්ෂාත් කිරිමේ දී ඔහු වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමේ අයිතිය සඳහා යම් නීතිඥ සහායක් අවශ්‍ය වෙනවා. ඔහුට එරෙහිව ඉදිරිපත් වන චෝදනාව වැරදි සහගත නම්, සාවද්‍ය නම් සහ ඔහුට චෝදනා ඉදිරිපත් කරලා තියෙන්නේ නීතියේ ප්‍රතිපාදනවලට අනුකූලව නොවේ නම්, ඒවා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වීම සඳහා නීති පාර්ශවයක් අවශ්‍ය වෙනවා," හෙතෙම පැහැදිලි කළේ ය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගේ කාර්යභාරය කුමක්ද?

එමෙන් ම, විත්තියේ නීතිඥවරයා සතු කාර්ය භාරය සම්බන්ධයෙන් ද ආචාර්ය මේනක හරන්කහ වැඩිදුරටත් විස්තර කළේ ය.

යම් සාපරාධී ක්‍රියාවක් සම්බන්ධව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව චෝදනා නැගිය හැකිදැයි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයකින් සලකා බලන අවස්ථාවක

  • නඩු විභාගය අවසන් වන තෙක් ඇප ලබා ගැනීමට ඔහුට ඇති අයිතිය තහවුරු කිරීම
  • එම විත්තිකරු අත්අඩංගුවේ පසුවන්නේ නම් ඇප ලබා ගැනීම ඉල්ලීම සිදු කිරීම
  • සාධාරණ නඩු විභාගයක් සඳහා අදාළ විත්තිකරු සහභාගී වන බව තහවුරු කිරීම
  • සාධාරණ ඇප කොන්දෙසි මත ඇප ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම විත්තියේ නීතිඥවරයා සතු කාර්යභාරයක් බව ආචාර්යවරයා පැවසීය.

විත්තිකරුවකු වෙනුවෙන් මහාධිකරණයේ නඩු පවරා ඇති අවස්ථාවක ඉදිරිපත් කර ඇති කරුණු, පොලිසිය ඉදිරිපත් කර ඇති සාක්ෂි සම්පිණ්ඩනය කර බලා එම සාක්ෂි විශ්ලේෂණය කර අදාළ සාක්ෂිවලින් විත්තිකරුට චෝදනා කිරීමට තරම් කරුණු පවතී ද යන්න සොයා බැලීම සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා සතු කාර්යයකි.

එමෙන් ම සැකකරුට චෝදනා එල්ලවී ඇති නීති පද්ධතියේ වගන්ති ඔහුට චෝදනා නගා ඇති වරද සම්බන්ධයෙන් අදාළ වන්නේ ද යන්න සොයා බැලීම විත්තියේ නීතිඥයා සතු කාර්යයක් බව හෙතෙම පෙන්වා දෙයි.

"උදාහරණයක් විදියට මරණ දඬුවම නියම කිරීම සඳහා, එහෙම නැතිනම් මිනීමැරීමේ චෝදනා මත ඔහු වදරකරුවකු කිරීමට උත්සාහ කරන අවස්ථාවකදී, එය මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් යටතේ ගන්න පුලුවන් කාරණයක් ද කියන කරුණු සොයා බැලීමටත්, එහෙම නැතිනම් ඔහුව සීයට සීයක් මේ නඩුවෙන් නිදහස් කිරීමේ හැකියාව තියෙනවා ද කියන කාරණය සොයා බැලීමත්, එකී කරුණු පහළ අධිකරණයට හෝ ඉහළ අධිකරණයට ඉදිරිපත් කිරීමත් නීතිඥවරයෙකුගේ කාර්යභාරය වෙනවා."

"එමෙන්ම ජූරි සභාවක් සහිත නඩු විභාගය දී මෙම චූදිතයා විසින් වරද සිදු කළා ද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් සැකයක් මතු කිරීමේ හැකියාවත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකුට තියෙනවා. මොකද අධිකරණය ඉදිරියේ මේ විදියට ඔහු මේක ඇත්ත වශයෙන් සිද්ධ කළා ද, නැද්ද කියන එක සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක සැකයක් මතු වන අවස්ථාවකදී, අධිකරණ බලධාරීන්ට කිසිම ආකාරයකට නිගමනයකට එන්න පුලුවන් කමක් නැහැ ඔහු මේ වරදට වරදකරු යැයි කියන කාරණය. ඒ නිසයි සාධාරණ සැකයකින් ඔබ්බට ගිහිල්ලා, සාධාරණ සැකයකින් තොරව ඔහු වරද සිදු කළාය කියන කාරණය ඔප්පු කළ යුතුයි කියලා කියන්නේ."

ආචාර්යවරයා කියා සිටියේ, විත්ති පාර්ශවයේ නීතිඥවරයා ගේ මූලික කාර්යය වන්නේ විත්තිකරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇත්දැයි යන කාරණය මතු කිරීම හරහා චූදිතයාට සහනයක් ලබා දීම බවයි.

විත්තිකරු විසින් දක්වන ලද කරුණු රහසිගතව තබා ගැනීම සහ එය ඔහුගේ නඩුව ඔප්පු කිරීම සඳහා පමණක් යොදා ගැනීම වැනි වගකීම් මූලික වශයෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකුගේ වගකීම් බව ද ආචාර්යවරයා අවධාරණය කළේ ය.

වැරදිකරුවකු, නිවැරදි කරන්න දක්ෂ නීතිඥයෙකුට පුළුවන් ද?

අපරාධකරුවන් නීතියෙන් ගලවාගැනීමට නීතිඥවරු පෙනී සිටින බවට සමාජය තුළ ජනප්‍රිය මතයක් පවතියි. නීතිඥවරුන් ගේ සහාය ලබා ගැනීමෙන් අපරාධකරුවන්ට නීතියෙන් ගැලවීමේ හැකියාවක් පවතීදැයි බීබීසී සිංහල සේවය, ආචාර්ය මේනක හරන්කහගෙන් විමසීය.

"එහෙම යම්කිසි ආකාරයකින් තර්කයක් ගොඩනගන්න හැකියවා තියෙනවා. නමුත් මෙතනදී "අපරාධකරුවා" කියන කාරණය නීතිය ඉදිරියේ තහවුරු වීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. අපරාධයක් කරලා තිබුණ පමණින් ම, ඔහුව හංවඩු ගැසී තිබුණ පලියෙන් ම, මේ කියන ප්‍රස්තූත කාරණයේදීත්, මේ අවස්ථාවේ අධිකරණය ඉදිරියේ සාකච්ඡා කරන ගැටලුවේදීත්, ඔහු විසින් වරද කරලා තියෙනවාමයි කියන කාරණය සීයට සීයක්ම සත්‍ය වශයෙන් කියන්න බැහැ. අපිට පූර්ව වැරදි සම්බන්ධයෙන් නිගමනයකට එළඹෙන්න පුළුවන්. හැබැයි මේ වරද කළේ ඔහු ම ද කියන කාරණය සනාථ කරන්න බැහැ. ඒක සනාථ කළ යුත්තේ පැහැදිලි, අපක්ෂපාතී නඩු විභාගයකින්, පසුව අධිකරණය මගින් සෑහීමකට පත්වන අවස්ථාවකදී විතරයි. [එවැනි අවස්ථාවකදී] අදාළ සාක්ෂි මගින් ඔහු වරදකරු බවට පත් කළ යුතු වෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.

"අපරාධකරුවන් නිදහස් වනවා ය යන තර්කය වැරදිසහගත වෙන්නේ ඒකෙන්, නඩු පවරන පාර්ශවය, එහෙම නැතිනම් නීතිපති දෙපාර්තුමේන්තුව විසින් නඩු පැවරීමේ දී චෝදනා ඔප්පු කිරීමට ඔවුන් අසමත් වුණා කියන කාරණය හෙළිදරව් වෙන නිසා. ඔවුන් සාර්ථක ලෙස මේ පුද්ගලයා වරදකරු කියන කාරණය අධිකරණය ඉදිරියේ සනාථ කිරීමට සමත් වුණා නම්, රජයේ පාර්ශවය, එහෙම නැතිනම් චෝදනා කරන පාර්ශවය සමත් වුණා නම්, අපරාධකරු නිදහස් වෙනවා කියන සංකල්පය බොරුවක් බවට පත්වෙනවා. මොකද දක්ෂ නීතිඥයෙක් වුණත්, පැහැදිලි වශයෙන් ම චෝදනා සහ ඒ චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්ෂි තියෙන අවස්ථාවකදී යම්කිසි අපරාධකරුවෙකුව නිර්දෝෂි කරන්න පුළුවන් කමක් නැහැ."

බොහෝ විට විත්තිකරුවන් නිදහස් වන්නේ නීතිඥවරයා මුදල මත සිදු කරන ක්‍රියාවක් හෝ නීතිඥවරයා ගේ දක්ෂතාවය මත නොව,නඩු පවරන පාර්ශවය විසින් චෝදනා ඔප්පු කිරීමට අසමත් වීම නිසා යැයි ආචාර්ය මේනක හරන්කහ පෙන්වා දුන්නේ ය.

නීති සහාය නොලබන සැකකරුවෙකුට කළ හැක්කේ කුමක් ද?

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගයේදී, ඇතැම් සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සහාය නොලැබෙන අවස්ථාවලදී ඔවුන් තමන් වෙනුවෙන් අධිකරණයේ කරුණු දක්වන අවස්ථා වාර්තා වී ඇති අතර, පසුගියදා වෙඩි තබා ඝාතනය කරන ලද නීතිඥවරයාගේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට පත්වුවහොත් ඔවුන් වෙනුවෙන් නීතිඥ සහාය ලබා දෙනවා ද යන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ඇතැම් මාධ්‍ය මෙන් ම, ඇතැම් පුද්ගලයන් ද ඉදිරිපත් කරනු ලැබූ ප්‍රශ්නයකි.

"වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේ ද, ඒ තැනැත්තාට, නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයකදී පෞද්ගලිකව ම හෝ නීතිඥවරයකු මගින් හෝ කරුණු කියා සිටීමට හිමිකම් ඇත්තේ ය," යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මේනක හරන්කහ පෙන්වා දෙන්නේ, නීති සහාය නොලැබෙන අවස්ථාවකදී විත්තිකරුවන්ට අධිකරණය හමුවේ කරුණු දැක්වීමේ හැකියාව පවතින බව යි.

"නීති ආධාර කොමිෂන් සභාවෙන් නීතිඥ සහාය ලබා දෙන අවස්ථාවන් තියෙනවා. බොහෝ විට නීති ආධාර කොමිසම උපකාර කරන්නේ පැමිණිලිකාර පාර්වශවය වෙනුවෙන් පමණයි,"

"තමන්ට තමන් වෙනුවෙන් කරුණු කියා පෑමට නෛතික හැකියාවක් නැති අවස්ථාවකදී, ඔහු වෙනුවෙන් ඔහුට සහාය වීම සඳහා නීතිඥවරයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමේ වගකීමක් රජයේ පාර්ශවයට තියෙනවා," යැයි ආචාර්යවරයා සඳහන් කළේ ය.

"නීතිය පිළිගන්න අදහසක් තමයි වරදකරුවන් සීයක් එල්ලනවට වැඩිය, එක් නිවැරදිකරුවකු එල්ලන්න සිදු වුණොත් එමඟින් සමාජයට සිදුවන හානිය අතිශය බරපතලයි කියන කාරණය."