MI6හි වසර 116ක ඉතිහාසය තුළ එහි ප්‍රධානී තනතුරට පළමු වරට කාන්තාවක් පත් කරයි

ඡායාරූප මූලාශ්‍රය, UK Foreign Office/AP
- Author, ක්‍රිස් මේසන් සහ ෆ්‍රෑන්ක් ගාඩ්නර්
- Role, දේශපාලන පුවත් සංස්කාරක සහ ආරක්ෂක වාර්තාකරු
- Author, රිච් ප්‍රෙස්ටන්
- Role, බීබීසී
එක්සත් රාජධානියේ විදේශීය ඔත්තු සේවය වන MI6හි (Military Intelligence, section six) සිය වසර 116ක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට කාන්තාවක විසින් මෙහෙයවනු ලැබීමට නියමිත ය.
1999 වසරේදී එක්සත් රාජධානියේ විදේශීය රහස් ඔත්තු සේවයට සම්බන්ධ වූ බ්ලේස් මෙට්‍රෙවේලි එම සංවිධානයේ ප්‍රධානි ධූරයට පත්වූ 18 වැනි යා වනු ඇත. ඇය මෙම වසර අග දී වත්මන් ප්‍රධානියා වන ශ්‍රීමත් රිචඩ් මුවර් එම ධූරයෙන් නික්ම යාමෙන් අනතුරුව වැඩ භාර ගැනීමට නියමිත ය.
ඇය දැනට එක්සත් රාජධානියේ විදේශීය රහස් ඔත්තු සේවයේ තාක්‍ෂණය සහ නවෝත්පාදන අංශයේ වගකීම් භාරව සිටින අතර රහස් ඔත්තු සේවයට නායකත්වය දීමට කෙරුණු ඉල්ලීම තමන්ට "ආඩම්බරයක් සහ ගෞරවයක්" බව පැවසුවාය.
"අපගේ ඔත්තු සේවය අන්කවරදාටත් වඩා වැදගත්'' අවස්ථාවක මෙම පත්වීම "ඓතිහාසික" අවස්ථාවක් ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාර්මර් හැඳින්වීය.
එක්සත් රාජධානියේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා විදේශ රටවල බුද්ධි තොරතුරු රැස් කිරීම MI6 සේවයේ කාර්යය භාරයයි. ත්‍රස්තවාදය වැළැක්වීම, ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල සතුරු ක්‍රියාකාරකම් කඩාකප්පල් කිරීම සහ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම එම බුද්ධි සේවයේ මෙහෙයුම්වල මූලික අරමුණ වේ.
එම සේවයේ ප්‍රධානියා, සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ "C" ලෙසයි, එමෙන්ම සේවයේ සිටින ප්‍රසිද්ධියේ නම් කරන ලද එකම සාමාජිකයා ද ඔහු හෝ ඇයයි.
මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන මෙට්‍රෙවේලි මෙනවිය දැනට MI6 හි තීරණාත්මක තාක්‍ෂණ හා නවෝත්පාදන අංශයේ "Q" ලෙස හඳුන්වන අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරයි. රහස් නියෝජිතයින්ගේ අනන්‍යතාවයන් රහසිගතව තබා ගැනීමටත්, චීනයේ භෞතිකමය නිරීක්ෂණ වැනි ප්‍රතිවිරුද්ධ මතධාරී පාර්ශවීය රටවලින් ආරක්ෂාවීම සඳහා නව ක්‍රමෝපායික මාර්ග ඉදිරිපත් කිරීමත් එම අංශයෙන් සිදු කෙරේ.
බ්‍රිතාන්‍ය ජනතාව ආරක්ෂා කර ගැනීමට සහ විදේශ රටවලදී එක්සත් රාජධානියේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමේදී MI6 සේවය, MI5 (එක්සත් රාජධානියේ දේශීය රහස් ඔත්තු සේවය) සහ GCHQ (රජයේ සන්නිවේදන මූලස්ථානය) සමග එක්ව වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද ඇය පැවසුවාය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"MI6 සේවයේ නිර්භීත නිලධාරීන් සහ නියෝජිතයින් මෙන් ම අපගේ විශාල පිරිසක් වන ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එම කාර්යයන් අඛණ්ඩව සිදුකරගෙන යාමට මම බලාපොරොත්තු වෙමි."
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේදී මානව විද්‍යාව හැදෑරූ මෙට්‍රෙවේලි මෙනවිය මීට පෙර MI6 බුද්ධි සේවයේ සහෝදර සේවය ලෙස සලකනු ලබන බ්‍රිතාන්‍යයේ දේශීය ආරක්ෂක ඒජන්සිය වන MI5 හි අධ්‍යක්ෂ මට්ටමේ භූමිකා දැරූ අතර ඇයගේ වෘත්තීය දිවියෙන් වැඩි කාලයක් ගත වූයේ මැදපෙරදිග සහ යුරෝපා කලාපයේයි.
බ්‍රිතාන්‍ය විදේශ ප්‍රතිපත්තියට ඇය කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජුගේ 2024 වසර සඳහා වන විදේශීය සහ ජාත්‍යන්තර උපන්දින ගෞරව ලැයිස්තුවේ ශාන්ත මයිකල් සහ ශාන්ත ජෝර්ජ් (CMG) ගෞරවයට පාත්‍ර විය.
"අධ්‍යක්ෂ K" යන අන්වර්ථ නාමයෙන් MI5 බුද්ධි සේවයට අනුයුක්තව සේවය කරමින් සිටියදී 2021 දෙසැම්බර් මාසයේදී ටෙලිග්‍රාෆ් පුවත් සේවය වෙත අදහස් දක්වමින් මෙට්‍රෙවේලි මෙනවිට පැවසුවේ එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂාවට ඇති තර්ජන "ඇත්ත වශයෙන්ම විවිධ" ස්වරූපයන්ගෙන් පවතින බවයි.
"රජය ආරක්ෂා කිරීම, රහස් තොරතුරු ආරක්ෂා කිරීම, අපගේ ජනතාව ආරක්ෂා කිරීම - ඝාතන වැළැක්වීම - ආර්ථිකය සංවේදී තාක්‍ෂණය සහ විවේචනාත්මක දැනුම ආරක්ෂා කිරීම යන අංශ ඔස්සේ එල්ලවිය හැකි තර්ජන සම්බන්ධයෙන් අපි මූලික වශයෙන් අවධානයෙන් සිටිනවා" යනුවෙන් ඇය පැවසුවාය.
"රුසියාවේම නොවන රුසියානු රජයේ ක්‍රියාකාරකම් තර්ජනයක් ලෙස පවතිනවා" සහ චීනය "ලෝකය පවතින ආකාරය වෙනස් කරමින් ඇති අතර එය එක්සත් රාජධානිය වෙත ඇදහිය නොහැකි අයුරින් අවස්ථා සහ තර්ජන නිර්මාණය කරනවා" යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
'C' කරන්නේ කුමක්ද?
- බ්‍රිතාන්‍යයේ විදේශීය රහස් ඔත්තු සේවය MI6 ලෙස හඳුන්වන අතර එහි ප්‍රධානියා C ලෙස හඳුන්වයි. ඔවුන් සිය රාජකාරි වාර්තා කරන්නේ බ්‍රිතානයේ විදේශ ලේකම්වරයා වෙතයි.
- C යනු අනෙකුත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ බ්‍රිතාන්‍ය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වන ඒකාබද්ධ බුද්ධි කමිටුවේ කොටසකි. එම තනතුර බුද්ධි වාර්තා ලබා ගැනීම මෙන්ම වත්මන් තත්ත්වයන් විශ්ලේෂණය කර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙයි.
- "C" යන්නෙන් ප්‍රධානියා අදහස් කරන බව යමෙකු සිතන්නේ නම් එය කිසිසේත් නිවැරදි තේරුම් ගැනීමක් නොවේ. එය එවැනි අරුතක් නොදෙයි. බ්‍රිතාන්‍යයේ පළමු රහස් ඔත්තු ඒජන්සිය ලෙස හැඳින්වෙන්නේ 1900 ගණන්වල පිහිටුවන ලද රහස් සේවා කාර්යාංශයයි. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා නිලධාරියෙකු වන කපිතාන් මෑන්ස්ෆීල්ඩ් කමිං විසින් එය මෙහෙයවනු ලැබීය.
- කැප්ටන් කමිං සෑමවිට ම ලේඛන කටයුතු සඳහා කොළ පැහැති තීන්ත වර්ගයක් භාවිත කළේය. අදටත් බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවයේදී කොළ පැහැ තීන්ත භාවිතා කර සටහන් තබන එකම පුද්ගලයා MI6 හි ප්‍රධානියා පමණයි.
- C නමැති තනතුර දරණ නිලධාරියා හෝ නිලධාරිනිය ඔහුගේ හෝ ඇයගේ නියෝජිතයින්ට "ඝාතන සඳහා බලපත්‍රයක්" ලබා දෙනවාද? නැත. එම හැකියාව ඇත්තේ බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම්වරයාටයි. 1994 බුද්ධි සේවා පනතේ 7 වැනි වගන්තිය යටතේ, MI6 නියෝජිතයෙකුට මාරාන්තික විය හැකි ක්‍රියාවකට බලතල ලබා දීම වැනි නීති විරෝධී විය හැකි ඇතැම් ක්‍රියා සිදු කිරීමට අවසර ලබා දීමේ හැකියාව පවතී. නමුත් එය දීර්ඝ හා සංකීර්ණ නීතිමය ක්‍රියාවලියක් වේ.
බ්ලේස් මෙට්‍රෙවේලි විසින් නායකත්වය දීමට නියමිත සංවිධානය වර්තමානයේදී පෙර නොවූ විරූ සහ විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටියි.
භූගෝලීය වශයෙන්, එම අභියෝග ප්‍රධාන වශයෙන් පැමිණෙන්නේ රුසියාව, චීනය, ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවලිනි. එම රටවල් එක්සත් රාජධානියේ සහ බටහිර ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල අවශ්‍යතාවලට බාධා එල්ල කිරීමේ අරමුණින් ගෝලීයව වඩාත් සමීපව සහ සහයෝගයෙන් කටයුතු කරයි.
නමුත් තාක්ෂණික අභියෝග ද පවතී.
MI6 රහස් ඔත්තු සේවයේ මූලික කාර්යභාරය වන්නේ සතුරු තර්ජන එල්ල කරන රටවල් සහ අල්-කයිඩා වැනි රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළත් බ්‍රිතාන්‍යයේ ප්‍රතිවිරුද්ධ මතධාරී පාර්ශවවල රහස් තොරතුරු අනාවරණ කර ගැනීම සඳහා සුදුසු පුද්ගලයින් නැතිනම් ඒජන්තවරුන් බඳවා ගැනීමයි.
ඩිජිටල් තාක්ෂණයේ නවෝත්පාදන සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින යුගයක, වැඩි බුද්ධි තොරතුරු ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් සහ අභ්‍යවකාශයෙන් එක්රැස් කරමින් පවතින පසුබිමක, MI6 බුද්ධි සේවයට ඔවුන්ගේ සතුරන්ට වඩා ඉදිරියෙන් සිටීම සඳහා වේගවත්ව සහ ක්‍රියාකාරීව සිටීමට සිදුවේ.
එළබෙන ඔක්තෝම්බර් මාසයේදී සිය ධූරයෙන් සමුගැනීමට නියමිත MI6 හි වත්මන් ප්‍රධානී ශ්‍රීමත් රිචඩ් ඉකුත් සැප්තැම්බර් මාසයේදී එවකට අමෙරිකානු CIA හි ප්‍රධානී විලියම් බර්න්ස් හමුවූ අවස්ථාවක අනතුරු අගවා තිබුණේ ජාත්‍යන්තරය "දෙවන ලෝක යුද්ධයෙන් පසු අප නොදැකපු අකාරයේ තර්ජනයන්ට ලක්ව ඇති" බවටයි.
එමෙන්ම ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට අදහස් දක්වමින් ඔවුන් දෙපළ පැවසුවේ යුක්‍රේන යුද්ධයෙන් ඔබ්බට, ඔවුන්ගේ විදේශ ඔත්තු සේවා දෙක ම "රුසියානු බුද්ධි සේවය විසින් යුරෝපය පුරා ගෙන යන අදූරදර්ශී කඩාකප්පල්කාරී ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා එක්ව කටයුතු කරන" බවයි.
ශ්‍රීමත් රිචඞ් සහ බර්න්ස් එහිදී පැවසුවේ ශතවර්ෂයේ ප්‍රධාන බුද්ධිමය හා භූ දේශපාලනික අභියෝගය ලෙස චීනයේ නැගීම සිටීම පෙන්වා දිය හැකි බව යි. එමෙන් ම මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම පාලනය කිරීම සඳහා ඔවුන් "දැඩි" උත්සහයක් දරා ඇති බවයි.
වසර පහක සේවා කාලයකින් පසුව එළඹෙන සරත් සෘතුවේ දී ධූරයෙන් ඉවත්ව යන අතර ශ්‍රීමත් රිචඩ් ඉකුත් ඉරිදා පැවසුවේ තම සගයාගේ "ඓතිහාසික පත්වීම" ගැන තමා "අතිශයින්ම සතුටට පත්වන" බවයි
"බ්ලේස් කියන්නේ ඉතා දක්ෂ බුද්ධි අංශ නිලධාරිනියක් වගේම නායිකාවක්. ඇය තාක්‍ෂණය පිළිබඳ ගැඹුරින් හා බැරෑරුම් ලෙස සිතන කෙනෙක්" ඔහු පැවසුවේය.
"MI6 හි පළමු කාන්තා ප්‍රධානියා ලෙස ඇයව පිළිගැනීමට මම නොඉවසිල්ලෙන් ඉන්නේ."
MI6 හි නව ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට නියමිත මෙට්‍රෙවේලි මෙනවිය සිය රාජකාරියේදී වගකිව යුතු ඉහළ නිලධාරියා වන බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී පැවසුවේ ඇය "පරමාදර්ශී" අපේක්ෂිකාවක් බවයි. "ගෝලීය අස්ථාවරත්වය සහ නැගී එන ආරක්ෂක තර්ජන" යන අභියෝගවලට මුහුණ දීමට එක්සත් රාජධානියට හැකි බව ඇය සහතික කරනු ඇතැයි ද ඔහු පැවසුවේය.
"ශ්‍රීමත් රිචඩ් මුවර්ගේ සේවය සහ ඔහු ලබා දුන් නායකත්වය වෙනුවෙන් ප්‍රණාමය පුද කිරීමට ද මම කැමතියි" ඔහු පැවසීය.
"පසුගිය වසර තුළ මම ඔහු සමඟ සමීපව කටයුතු කළා. අපගේ ජාතික ආරක්ෂාව ඉහළ නැංවීමට සහ බ්‍රිතාන්‍ය ජනතාව ආරක්ෂා කිරීමට ඔහු ලබා දුන් අගනා දායකත්වය වෙනුවෙන් මම ඔහුට ස්තූතිවන්ත වනවා"
අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් ද ශ්‍රීමත් රිචඩ් "කැපවීමෙන් සිදු කළ සේවයට" ස්තුතිවන්ත විය.
"අපේ ප්‍රාන්තය ආරක්ෂා කිරීමට සහ අපගේ ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය විශිෂ්ට නායකත්වය බ්ලේස් අඛණ්ඩව ලබාදෙන බව මම දන්නවා" ඔහු වැඩිදුරටත් පැවසුවේය.
අතිරේක වාර්තාකරණය හොලී කෝල් විසිනි.













