එක්සත් රාජධානියේ කැරලි: ප්‍රචණ්ඩත්වයට හේතුව කුමක්ද?

Hooded youths including one on a bike stand next to a burning police car in Sunderland on 2 August 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එංගලන්තයේ වයඹ දිග ප්‍රදේශයේදී තරුණ ගැහැණු ළමුන් තිදෙනෙකුට මරු කැඳවමින් සිදු වූ පිහි ප්‍රහාරයකින් අනතුරුව පසුගිය සතිය පුරා එක්සත් රාජධානියේ ප්‍රදේශ කිහිපයක කැරලි ඇති විය.

සවුත්පෝට් වෙරළබඩ නගරය මෙම ඛේදජනක සිදුවීමෙන් ශෝකයෙන් ඇළලී ගොස් තිබෙන අතරේ, අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් ඔවුන්ගේ අදහස් ප්‍රවර්ධනය කිරීමට සහ සුදු ජාතිකයන් නො වන ප්‍රජාවන් බිය ගැන්වීමට මෙම සිද්ධිය අවස්ථාවක් කර ගෙන තිබේ.

සාමකාමී ලෙස නගරයේ ආරම්භ වූ විරෝධතා ඉක්මනින්ම ප්‍රචණ්ඩ අතට හැරුණි. නොසන්සුන්තාවය මධ්‍යයේ කැරලිකරුවන් පොලිසිය වෙතට මෙන් ම හෝටල්වල සිටින සරණාගතයින් ඉලක්ක කරගෙන ගඩොල්, දුම් බෝම්බ වැනි දේවලින් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ හ. මෙය ඉතා ඉක්මනින් හල්, ලිවර්පූල්, මැන්චෙස්ටර්, බ්ලැක්පූල් සහ බෙල්ෆාස්ට් ඇතුළු එක්සත් රාජධානියේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ගියේ ය.

ඉන්දියාව, නයිජීරියාව සහ මැලේසියාව වැනි සමහර රටවල් මේ වනවිට එක්සත් රාජධානියට යන සංචාරකයන් සඳහා සංචාරක උපදේශන නිකුත් කර තිබේ.

අගමැති කියර් ස්ටාර්මර් මෙම සිදුවීම් “අන්ත දක්ෂිණාංශික මැරකම්” ලෙසට හැඳින්වූ අතර, මෙම ක්‍රියා සාධාරණීකරණය කළ හැකි කිසිදු මඟක් නැති බවත් ඩව්නිං වීදියේදී වාර්තාකරුවන්ට පැවසුවේ ය.

BBC Verify විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව, වීදි උද්ඝෝෂණවල සිටින හෝ සවුත්පෝට් ප්‍රහාරය ගැන මත පළ කරන සෑම කෙනෙකුම ආන්තික අදහස් දරන හෝ කැරලි ගැසීමට සහාය දක්වන හෝ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පවත්වන්න අය හෝ වන්නේ නැත. මෙම කැරලිවලට හවුල් වන්නන් අතරේ ප්‍රචණ්ඩකාරී අපරාධ ගැන සැලකිලිමත් වන පුද්ගලයින් හෝ මෙම ප්‍රහාරය නීතිවිරෝධී සංක්‍රමණවලට සම්බන්ධ බවට වූ වැරදි තොරතුරු මගින් නොමඟ යැවූ පුද්ගලයන්ද වන බව සොයාගෙන තිබේ.

වැරදි තොරතුරු

A young girl and a woman attend a vigil in Southport

ඡායාරූප මූලාශ්‍රය, PA Media

පිහි ඇනුම පිළිබඳ පුවත වාර්තා වූ විට, ප්‍රහාරකයා කවුරුන්ද යන්න පිළිබඳ වැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ලැව් ගින්නක් මෙන් පැතිර ගියේ ය.

ඔහුගේ වයස අනුව, 17 හැවිරිදි පිරිමි ළමයෙකුට චෝදනා එල්ල වී ඇති බව පමණක් පොලිසිය විසින් තහවුරු කළ අතර, උපකල්පන මත පදනම්ව ක්‍රියා කිරීම නවත්වන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා තිබුණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නමුත් අන්ත දක්ෂිණාංශික සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් විසින් පතුරවා හරින ලද කටකතා අනුව, ප්‍රහාරකයා බෝට්ටුවකින් එක්සත් රාජධානියට පැමිණි මුස්ලිම් සරණාගතයෙකු වන බවට තොරතුරු ඉතා ඉක්මනින් පැතිර ගියේ ය.

එක් අයෙක් අන්ත දක්ෂිණාංශික කණ්ඩායමේ නිර්මාතෘ වන ඉංග්‍රීසි ආරක්ෂක ලීගය සමඟ සම්බන්ධකම් ඇති X සමාජ ජාලයේ විශාල අනුගාමිකයින් පිරිසක් සිටින අයෙකු විය. ස්ටීවන් යාක්ස්ලි-ලෙනන් නම් ඔහු ටොමී රොබින්සන් යන අන්වර්ථ නාමය භාවිතා කරන බව BBC Verify වාර්තා කරයි.

BBC Verify ට අනුව, අන්ත දක්ෂිණාංශික පුද්ගලයින් සහ කණ්ඩායම් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති සාමාන්‍ය මිනිසුන් ඇතුළු විශාල පිරිසක් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වැරදි තොරතුරු ඉතා ඉක්මනින් ප්‍රචාරය වී තිබේ.

"මේ සිදුවීම් පිටුපස තිබුණේ තනි බලවේගයක් නෙමෙයි" යැයි අන්තවාදී විරෝධී පර්යේෂණ කණ්ඩායමක් වන Hope Not Hate හි පර්යේෂණ ප්‍රධානී ජෝ මුල්හෝල් පවසයි.

“එය මේ මොහොතේ තනි අන්ත දක්ෂිණාංශ ස්වභාවය පෙන්නුම් කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරී වන බොහෝ පිරිසක් සිටිනවා. නමුත් ඒ ක්‍රියාකාරකම්වලට සාමාජික ව්‍යුහයක් හෝ ලාංඡනයක් නැහැ. අඩුම තරමේ විධිමත් නායකතත්වයක්වත් නැහැ. නමුත් ඔවුන් සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් විසින් මෙහෙයවනු ලබනවා. එය සාම්ප්‍රදායික සංවිධානයකට වඩා මාළු අහිනක් වගේ."

ජාතිවාදය සහ සංක්‍රමණ

Protesters throw a bin on fire outside a hotel in Rotherham

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ජුලි මස ආරම්භයේ පැවති එක්සත් රාජධානියේ මහ මැතිවරණයදී, ආගමන මෙන් ම, කුඩා බෝට්ටුවලින් එක්සත් රාජධානියට සංක්‍රමණිකයන් පැමිණීම වැනි මාතෘකා කතාබහට ලක් විය.

අත්‍යවශ්‍ය නොවන සංක්‍රමණ නතර කරන ලෙස ඉල්ලා සිටින, එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් වූ නයිජල් ෆරාජ්, එක්සත් රාජධානි ප්‍රතිසංස්කරණ පක්ෂයේ නායකයා ලෙස ප්‍රධාන ධාරාවේ දේශපාලනයට ද නැවත පැමිණ තිබේ.

කෝලාහලවලට ප්‍රතිචාර දක්වමින් “පාලනයකින් තොරව සිදුවන මහා පරිමාන සංක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස අපගේ ප්‍රජාවන් කොටස්වලට වෙන් වීම, අපේ ජනගහනයෙන් බහුතරයකට දැනෙමින් තිබෙනවා” යි ඔහු කියා සිටියේ ය.

වර්තමාන එක්සත් රාජධානියේ නීතිමය සහ නීතිවිරෝධී සංක්‍රමණ යන දෙකම ඉතා ඉහළ අගයකින් සිදු වන බව සාක්ෂි සහිතව පෙනෙන්නට තිබේ. පසුගිය පෙබරවාරියේ Ipsos සමීක්ෂණයකින් පැවසුණේ 52% ක් දෙනා වර්තමාන ආගමන මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බව විශ්වාස කරණ බවයි. දෙවසරකට පෙර එසේ පැවසුවේ 42% දෙනෙකු පමණි.

නමුත් Ipsos සමීක්ෂණයට අනුව, 2022 සිට එම පරතරය අඩු වී ඇතත්, ආගමන විගමනයේ බලපෑම පිළිබඳව මිනිසුන් සාමාන්‍යයෙන් වඩා සුබවාදී වී ඇති බවත් හෙළි වී තිබේ.

සංක්‍රමණ විරෝධී පෙළපාලි සංවිධානය කළ අන්ත දක්ෂිණාංශික දේශප්‍රේමී විකල්පය ඇතුළු අනෙකුත් කණ්ඩායම්, සවුත්පෝර්ට් ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මහජන කෝපය පසුව ප්‍රචණ්ඩත්වය කරා හැරුණු ඒකරාශී වීම් බවට පත් කිරීමට කටයුතු කළහ.

තවත් අන්තවාදී දක්ෂිණාංශික කණ්ඩායම් සමූහ පිටුවහල් කිරීම් ඉල්ලා සිටිය හ.

“අන්ත දක්ෂිනාංශිකයින් මේ රටේ විශාල බලවේගයක් වීම වළක්වන කරුණක් වී තිබුණේ ඔවුන්ගේ කණ්ඩායම් අතරේ වූ ගැටුම්කාරී තත්ත්වයන්. එහෙත් සවුත්පෝට් සිදුවීම ඇත්ත වශයෙන්ම ඔවුන්ව එකට එකතු කළා,” යි Plotters: The UK Terrorists Who Failed කෘතියේ කතෘ සහ The Independent හි හිටපු ස්වදේශ කටයුතු සංස්කාරක ලිසී ඩියර්ඩන්, BBC Radio 4 වෙත පැවසීය.

Protesters face a line of riot police at a Holiday Inn Express in Rotherham

ඡායාරූප මූලාශ්‍රය, PA Media

සරණාගතයින් සිටින හෝටල් ද ජාතිවාදී සහ සංක්‍රමණ විරෝධී ප්‍රහාරවල ඉලක්ක බවට පත් වී තිබේ.

BBC මාධ්‍යවේදී පැඩී ඕ කොනෙල්, එංගලන්තයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි ඇල්ඩර්ෂොට් නගරයේ, සරණාගතයින් නවාතැන් ගෙන සිටින හෝටලයකින් පිටත පෙළපාලිකරුවන් ගලා එන ආකාරය දුටුවේය.

“වාසස්ථාන ගැටළු සහ එකට විසීම පිළිබඳව මතුව ඇති ගැටළු ඉස්මතු කිරීමට සාමකාමී පෙළපාලියක් ෆේස්බුක් ඔස්සේ කැඳවනු ලැබ තිබුණා. එය ඉක්මනින්ම ඉතා නරක අතට වර්ධනය වුණා. රැස්ව සිටි පිරිස ගඩොල් විසි කරමින්, වර්ගවාදී අපහාසාත්මක ප්‍රකාශ කියමින් කෑගසන්නට වුණා. හෝටලයේ සිටීම ඉතා බියජනක අත්දැකීමක් බවට පත්වුණා. යි ”ඔහු BBC ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළේ ය.

හෝටලයෙන් පිටත පදික වේදිකාවේදී ඔහු එක්සත් රාජධානියේ සරණාගතභාවය පතා සිටින ඇෆ්ගන් සහෝදරියන් දෙදෙනෙකු සමඟ කතා කළේ ය.

“කලහකාරීන් හදිසියේම පැමිණ ඔවුන්ගේ මෝටර් රථ මෙහි නැවැත්වූවා. ඔවුන් හෝටල් ගොඩනැගිල්ලට නැග අපේ තාප්ප, ගේට්ටු, ජනෙල් පවා කඩා බිඳ දැමීමට උත්සාහ කළා. ඒක ඇත්තටම බියජනකයි”යි 22 හැවිරිදි එක් සහෝදරියක් ඔහුට පැවසුවා ය.

"ඔවුන් අපිට අපහාසාත්මක දේ කියමින් කෑගැසුවා. ඒවා වීඩියෝ කළා. හොඳ හැසිරීමක් නෙමෙයි ඔවුන් පෙන්වූයේ.."17 හැවිරිදි අනෙක් සොයුරිය පැවසුවා ය.

විනෝදය සඳහා කළ කොල්ලකෑම්

Police officers stand outside a smashed and raided Shoezone shop in Hull

කැරලි අතරතුරදී සමහර විරෝධතාකරුවන් වෙළඳසැල් කොල්ලකෑම ඇතුළු සාපරාධී ක්‍රියාකාරකම්වල යෙදී තිබේ.

ඊසාන දිග එංගලන්තයේ නගරයක් වන සන්ඩර්ලන්ඩ් හි පිහිටි ග්‍රෙග්ස් බේකරියේ ශාඛාවක් මෙන්ම නැට්වෙස්ට් බැංකුවක් ද බිඳ දමා ඇති අතර වයඹ දිග බ්ලැක්පූල් හි සාප්පු මධ්‍යස්ථානයක සිදුකළ කොල්ලකෑම් පිළිබඳවද පොලිසිය විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.

BBC වාර්තාකරුවෙකු විසින්, ඊසානදිග හල් ප්‍රදේශයේ සිදු වූ කොල්ලකෑම් සහ වෙළඳසැල් ගණනාවකට හානි කිරීම් මෙන් ම ඉන් එකක් ගිනි තබා තිබූ ආකාරයද නිරීක්ෂණය කර තිබූ අතර, ඇතැම් බඩු භාණ්ඩ මහ මගට ගෙනවිත් ගිනි තබනු දුටු බව ද කියා සිටියේ ය. කලබල හේතුවෙන් නගර මධ්‍යයේ කඩ සාප්පු වේලාසනින් වසා දැමූ අතර පොදු ප්‍රවාහනයට ද බලපෑම් එල්ල විය.

සන්ඩර්ලන්ඩ් නගර සභාව, පසුගිය සෙනසුරාදා X සමාජ ජාලයේ පෝස්ටුවක් පළ කරමින් මෙසේ පැවසීය: "සන්ඩර්ලන්ඩ් ප්‍රසිද්ධ වී ඇත්තේ උණුසුම් හා මිත්‍රශීලී නගරයක් ලෙසට ය. අද රාත්‍රියේ සිදු වූ මෙම සිදුවීම් මේ සාඩම්බර නගරය සහ එහි ජනතාවගේ පිළිබිඹුවක් නොවේ.

"අපගේ පිරිස අතරේ සන්සුන් භාවය ඇති කරමින් සාමය ස්ථාපනය කිරීමට අපි සැමවිටම මෙන් මෙවරත් එකතු වන්නෙමු."

නගරාධිපතිවරයා තවදුරටත් මෙසේ පැවසුවේ ය “මේ වගේ දේවල් ප්‍රදේශයේ මිනිසුන්ට තද බලපෑමක් ඇති කරනවා. නමුත් සන්ඩර්ලන්ඩ් කවුන්සිලය විසින් එක් රැයකින් කළ පිරිසිදු කිරීම අගය කළ යුතුයි.

"ඒ වගේම සන්ඩර්ලන්ඩ් හි මිනිසුන් අද උදෑසන එකතු වී එම පිරිසිදු කිරීමට දායක වීම ගැන මම ඇත්තෙන්ම සතුටු වෙනවා."

Mohammed Idris stands in front of his smashed shop window, wearing a blue shirt, grey suit jacket, and glasses.

දකුණු බෙල්ෆාස්ට් හි පිහිටා තිබූ බාෂ් කැෆේ හි හිමිකරු මොහොමඩ් ඉඩ්‍රිස් පවසන්නේ, සෙනසුරාදා පැවති ප්‍රචණ්ඩ විරෝධතා අතරතුර තම ව්‍යාපාරය ගිනි තැබීමෙන් පසු ඔහු නැවත එය විවෘත නොකරන බවයි

ඉඩ්‍රිස් BBC පුවත් සේවයට පැවසුවේ මීට පෙර ද තම ව්‍යාපාර ඉලක්ක කර ඇති බවයි. පසුගිය වසරේ සැන්ඩි රෝ හි පිහිටි තම වෙළඳසැල ද මෙවැනි ඉලක්ක වූ බවත් ඔහු පැවසුවේ ය.

“මගේ පරිගණක සාප්පුවටත් මේ ආපන ශාලාවට වගේම සම්පූර්ණයෙන්ම හානි වුණා. මෙම ආපන ශාලාව බලාපොරොත්තුවක්, වගේම පිරිසට රැස්වීම සඳහා ස්ථානයක් වී තිබුණා. දැන් මෙහි කිසිම බලාපොරොත්තුවක් නැහැ."

දේශීය සේවා කප්පාදුව

A hooded individual sets off a red smoke flare next to police on horses in Sunderland

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එමෙන්ම ඇතැම් පිරිස් පෙන්වා දෙන අන්දමට වසර ගණනාවක් පුරා පැවති දැඩි ආර්ථික ප්‍රතිපත්ති විසින් රජයේ පොදු සේවාවන්ට ලබා දෙන ආධාර කප්පාදු කර තිබේ.

සවුත්පෝර්ට් හි ආරම්භ වූ නොසන්සුන්තාවයෙන් පසුව, Hope Not Hate විසින් පැවසුවේ, පසුගිය රජයන් යටතේ සිදු කළ වියදම් කපා හැරීම් සහ මෙම ප්‍රදේශයේ වටිනාකම පහත හෙලීමේ ප්‍රතිඵලයක් ලෙසට ප්‍රජා සහජීවනය වසර ගණනාවක් තිස්සේ පහත වැටී ඇති බවයි.

"ප්‍රජාවන් සවිමත් කරන ආකාරයේ නව වැඩපිළිවලක්, නව රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බව මෙන්ම, මෙවැනි සිදුවීම්වලදී ක්‍රියා කළ යුතු ආකාරය ගැනත් එකඟත්වයකට පැමිණීමේ වැදගත්කමත් අවධාරණය වේ." යි එම සංවිධානය වැඩි දුරටත් සඳහන් කළේ ය.

2010 සිට 2019 දක්වා වූ එක්සත් රාජධානියේ 'කප්පාදු කාලය' තුළදී, හිටපු චාන්සලර් ජෝර්ජ් ඔස්බෝන් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයින් විසින් සුභසාධන ගෙවීම්, නිවාස සහනාධාර සහ සමාජ සේවා සඳහා වියදම් කප්පාදු කිරීම මගින් පවුම් බිලියන 30කට වඩා (ඩොලර් බිලියන 38) උපයා තිබේ.

සමාජ හා මූල්‍ය අස්ථාවරත්වය විසින් තරුණ ප්‍රජාව, අන්ත දක්ෂිණාංශික රැඩිකල්කරණයට වඩාත් නැඹුරු කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. මෙය Covid හි කල්පවත්නා බලපෑමෙන් ද වඩා ත්‍රීවෘ වන්නට ඇත.

"මිනිසුන් වඩාත් හුදකලා වූ අතර, ඔවුන්ගේ ඇතැම් පටු දෘෂ්ඨින් අභියෝගයට ලක් කර වෙනස් කළ හැකි නිරාවරණයන් සිදු වීම සඳහා අවශ්‍ය ක්‍රීඩාව, විවේකය, සමාජීය සබඳතා, ගුරුවරුන්, සහ පවුල් සබඳතා තිබුණේ නැහැ."යි ත්‍රස්ත විරෝධී රහස් පරීක්ෂකයෙකු වන ඩෙට් සුප්ට් ගැරත් රීස් BBC යට පැවසීය.

දිනපතා බිහිසුණු අපරාධ කතා රැසක් දකින අප, රට වඩ වඩාත් අවනීතිය කෙරෙහි නැඹුරු වෙමින් පවතින බවට විශ්වාස කිරීම ගැන අපට සමාව දිය හැකිය. නමුත් එංගලන්තයේ සහ වේල්සයේ අපරාධ සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන මිනිසුන්ගෙන් ඔබ අපරාධ පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් ගැන විමසූ විට ලැබෙන ප්‍රතිචාර පෙන්වන්නේ එයට ප්‍රතිවිරුද්ධ දෙයකි.

සංස්කාරක මාර්ක් ඊස්ටන් විසින් කළ විශ්ලේෂණය

දිනපතා බිහිසුණු අපරාධ කතා රැසක් දකින අප, රට වඩ වඩාත් අවනීතිය කෙරෙහි නැඹුරු වෙමින් පවතින බවට විශ්වාස කිරීම ගැන අපට සමාව දිය හැකිය. නමුත් එංගලන්තයේ සහ වේල්සයේ අපරාධ සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන මිනිසුන්ගෙන් ඔබ අපරාධ පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් ගැන විමසූ විට ලැබෙන ප්‍රතිචාර පෙන්වන්නේ එයට ප්‍රතිවිරුද්ධ දෙයකි.

සන්ඩර්ලන්ඩ් හි බොහෝ දෙනෙක් මෙම ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාව දුටුවේ සිකුරාදා රාත්‍රිය සඳහා වූ සංදර්ශනයක් ලෙසට බව පෙනෙන්නට තිබුණි. එය ඔවුන් නොසලකා හරින රජය කෙරෙහි ඔවුන්ගේ කෝපය ප්‍රදර්ශනය කිරීමට ගත් උත්සාහයක් විය.

අනෙක් අය එය ස්වභාවිකව ඇති වූ සිද්ධියක් නොවන බවට විස්වාස කරති. නගර මධ්‍යයේ නොසන්සුන්තාව ආරම්භ වීමට ටික වේලාවකට පෙර, එක්සත් රාජධානියේ ධජ පොරවා ගත් මිනිසුන්ගෙන් පිරුණු දුම්රියක් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ සිට දුම්රිය ස්ථානයට පැමිණියේ ය. දුම්රිය ස්ථානයෙන් පිටතදී, ඔවුන්ව පිළිගනු ලැබුවේ දක්ෂිණ උච්චාරණ සහිත පිරිසක් විසිනි.

දැනට අක්‍රිය වී ඇති ඉංග්‍රීසි ආරක්ෂක ලීගයට සම්බන්ධ කිහිප දෙනෙකුගේම මුහුණු මම දුටුවෙමි. පසුගිය වසර 45ක කාලය තුළ එක්සත් රාජධානියේ වාර්ගික අර්බුද ඇතිවනු මා දුටු පළමු අවස්ථාව මෙය නොවේ.

මෙවර සිදුවීම පෙර ඒවාට වඩා වෙනස් වන්නේ සමාජ මාධ්‍යවල එකිනෙකා හරහා පැතිර ගිය තොරතුරු නිසා, මැර පිරිස් උසි ගන්වන අයට වඩා පහසුවෙන් එය කිරීමේ ඉඩ ලැබී තිබීම පමණි. ස්වදේශීය අන්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ද පිරිස් විසින් විදේශීය වෙබ් අඩවි සමහරක් හරහා සාවද්‍ය සහ නොමඟ යවනසුළු තොරතුරු ප්‍රචාරය කර තිබේ.

සිය ප්‍රජාව තුළ ප්‍රචණ්ඩත්වය සිදුවෙමින් ඇති බව අත්විඳින පුද්ගලයන්ට මෙය ඉතා බිහිසුණු කාලයකි. අප එහි වඩාත්ම භයංකර තත්ත්වය තවම අත්දැක ඇත්දැයි අප දන්නේ නැත.

නමුත් මම ඊසානදිග හාර්ට්ල්පූල් හි පිරිසිදු කිරීමේ මෙහෙයුම නැරඹුවෙමි. එමෙන් ම වර්තමාන බ්‍රිතාන්‍යය වෙන කවරදාටත් වඩා ආරක්ෂිත සහ අනෙකාව ඉවසන බවට ප්‍රකාශ කෙරෙන පර්යේෂණ කියවා ඇත්තෙමි.

ඒ නිසාම අන්ත දක්ෂිණාංශික දාමරිකවාදය බ්‍රිතා,න්‍යයේ මනෝභාවය නියෝජනය කරන බවට උපකල්පනය කිරීම වරදක් බව මගේ හැඟීමයි.