ප්‍රංශයේ ප්‍රමුඛ දේශපාලන බලවේගය බවට ලු පෙන්ගේ පක්ෂය පත් වෙයි

National Rally supporters fly French flags as the results of the first round of voting come in.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නැෂනල් රැලී පක්ෂය (National Rally) වෙත ලැබෙන සහයෝගයේ වැඩිවීමක් නිරීක්ෂණය කළ හැකි අතර එය ජාතික මන්ත්‍රණ සභාවේ විශාලතම පක්ෂය බවට පත්වීමට නියමිත ය
    • Author, හියු ස්කොෆීල්ඩ්
    • Role, පැරිස් වාර්තාකරු

මරීන් ලු පෙන්ගේ අන්ත දක්ෂිණාංශික නැෂනල් රැලී (RN) පක්ෂය තවත් ජයග්‍රහණයක් හිමි කර ගෙන ඇති අතර ඔවුහු දැන් ප්‍රංශ දේශපාලනය උඩුයටිකුරු කිරීමේ ඉලක්කය කරා යමින් සිටිති.

RN විරෝධී ඡන්ද එක්තැන් කර ගැනීම සඳහා දෙවන වටයෙන් මධ්‍යස්ථවාදී සහ වාමාංශික අපේක්ෂකයින් ඉවත් වීම සම්බන්ධයෙන් ඉදිරි දිනවල දැඩි කතාබහක් ඇති වනු ඇති අතර අන්ත දක්ෂිණාංශික පක්ෂයකට බලය හිමි වීම වළක්වාලීම සඳහා ප්‍රංශයේ අනෙක් පක්ෂ විසින් භාවිත කරනු ලබන දේශපාලන උපාය මාර්ගයක් වන 'Front Républicain' තවදුරටත් නොපැවතීම ගැන අඳෝනා ඇසෙනු ඇත.

එහෙත්, මෙම පළමු වටයේ ඡන්ද විමසීමෙන් ලබා ගත හැකි එක ම නිගමනය, එනම්, RN පක්ෂය දැන් අවිවාදිත ලෙස ප්‍රංශයේ ප්‍රමුඛ දේශපාලන බලවේගය වන බව වෙනස් කිරීමට නම් පවතින තත්ත්වයේ විශ්මයජනක වෙනසක් සිදුවීම අවශ්‍ය වනු ඇති බව ය.

කෙසේ වෙතත්, ඉදිරි සතිය තුළ තීරණය වීමට ඉතිරිව ඇති දේ තවමත් සුවිශේෂී ය.

එනම්, අන්ත දක්ෂිණාංශික රජයකට ජාතික මන්ත්‍රණ සභාවේ බහුතර බලයක් ලැබීම නිසා බාධාවකින් තොරව තම කටයුතු පවත්වා ගෙන යාමට ඇති හැකියාවත් සභාව දෙකඩ වීම නිසා අන්ත දක්ෂිණාංශික රජයකට බොහෝ දේ කිරීමට නොහැකි වීම ත් අතර වෙනස ය.

මේ වන විට, ආසන ගණන පිළිබඳව පළ වී ඇති අනාවැකි අනුව RN පක්ෂයට 260 සිට 310 දක්වා ඕනෑ ම ආසන ගණනක් දිනාගත හැකි ය. පූර්ණ බහුතරය දිනා ගැනීමට ආසන 289ක් අවශ්‍ය බැවින් අවසානයේ බොහෝ දෑ සිදුවිය හැකි ය.

තම දේශපාලන අරමුණුවලට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යස්ථවාදී සහ වාමාංශික නව ජනතා පෙරමුණ (New Popular Front) සන්ධානය ජූලි 7 වන දා දෙවන වටයේදී උපායශීලීව ඡන්දය ප්‍රකාශ කරන ලෙසට ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ඇත. තමන්ගේ ම අපේක්ෂකයා පරාජයට පත් වුව ද, RN පක්ෂයට එරෙහිව ඉදිරිපත් වන තම මැතිවරණ කොට්ඨාසයේ කවුරුන් හෝ තෝරා ගන්නා ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනු ඇත.

නමුත් මේ ආකාරයට පක්ෂවලින් දෙනු ලබන උපදෙස්වල ඇති ගැටලුව නම්, ඒවාට සවන් දෙන පිරිස අඩු වීම ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

RN වෙත ඡන්දය ප්‍රකාශ කිරීම ලැජ්ජාවට කරුණක් වීම සමාජයෙන් තුරන් වී යාමට දිගු කලක් ගත වූ නමුත් දැන් එය සම්පූර්ණයෙන් ම පාහේ පහව ගොස් ඇතැයි කිව හැක.

RNහි විරුද්ධවාදීන්ට ඇති අනෙක් දුෂ්කරතාවය වන්නේ, දෙවන වටයේදී තුන්කොන් ඡන්ද සටන් පැවතීම ය. වෙනත් වචනවලින් කිවහොත්, ලබන ඉරිදා අපේක්ෂකයින් දෙදෙනෙකු නොව තිදෙනෙකු සහභාගී වන ඡන්ද කොට්ඨාස තිබීම ය. සාමාන්‍යයෙන්, මධ්‍යස්ථ, අන්ත-දක්ෂිණාංශික සහ වාමාංශික අපේක්ෂකයෙකු බැගින් ඊට සහභාගී වනු ඇත.

තුන්කොන් ඡන්ද සටන් ගණන ඉහළ අගයක පැවතීමට හේතුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉහළ අගයක පැවතීම ය. එනම්, මැතිවරණ ප්‍රතිඵලයට එය විශාල වශයෙන් බලපෑමක් ඇති කරන බැවිනි.

ඒ වගේ ම කෙටි කාලයකින් සංවිධානය වුණු මැතිවරණ ව්‍යාපාර කුඩා දේශපාලන පක්ෂවලට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බැවින් ඡන්ද මෙම කොටස් තුන වටා සංකේන්ද්‍රණය වී ඇත.

පැහැදිලිව ම, යම් මැතිවරණ කොට්ඨාසයක් තුළ පක්ෂ තුනක් තරග කරන්නේ නම්, RN විරෝධී ඡන්ද එක්තැන් වීම දුෂ්කර වනු ඇත. බොහෝ ස්ථානවල මධ්‍යස්ථවාදී හෝ වාමාංශික අපේක්ෂකයන් තරග කිරීමෙන් වැළකී සිටිය හැකිමුත්, සෑම තැනක ම එය එසේ නොවනු ඇත.

පොදුවේ ගත් කල, අන්ත දක්ෂිණාංශික ජයග්‍රහණයක නොවැළැක්විය හැකි හැඟීමක් දැන් රට ග්‍රහණය කර ගෙන ඇති බව පෙනේ.

කලක් සිතීමට පවා නොහැකි දැවැන්ත දෙයක් ලෙස දුටු දෙය දැන් ප්‍රත්‍යක්ෂ සත්‍යයක් ලෙස පෙනේ.