ට්‍රම්ප් 'ගබ්සාවට දඬුවම්' ප්‍රකාශය වෙනස් කරයි

ගබ්සා කිරීම් කර ගන්නා කාන්තාවන්ට “යම් ආකාරයක දඬුවමක්” ලබා දිය යුතු බවයි ඔහු මුලින් පැවසුවේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ගබ්සා කිරීම් කර ගන්නා කාන්තාවන්ට “යම් ආකාරයක දඬුවමක්” ලබා දිය යුතු බවයි ඔහු මුලින් පැවසුවේ

ඇමරිකාවේ ජනාධිපති පදවිය සඳහා නාමයෝජනා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තරඟ වදින රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ගබ්සා කිරීම් වලට භාජනය වන කාන්තාවන්ට දඬුවම් කළ යුතුය යනුවෙන් කළ ප්‍රකාශය ඉවත්කර ගෙන තිබේ.

එම යෝජනාව කිරීමෙන් පැය කිහිපයකට පසුවයි ඔහු එය ඉවත් කරගෙන ඇත්තේ.

ඔහු යෝජනා කළේ නීති විරෝධී ලෙස ගබ්සා කිරීම් කර ගන්නා කාන්තාවන්ට “යම් ආකාරයක දඬුවමක්” ලබා දිය යුතු බවයි.

කෙසේවුව ද බොහෝ විවේචන එල්ල වීමෙන් පසු ඔහු කියා සිටියේ ගබ්සාවට භාජනය වූ කාන්තාව නොව ගබ්සාව කරනු ලබන පුද්ගලයා දඬුවම් ලැබිය යුතු බවයි.

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටින ට්‍රම්ප්, යම් සුවිශේෂී හේතුවක් මත කරන ගබ්සා කිරීම් හැර ගබ්සාව තහනම් කිරීම ට සහයෝගය දක්වන්නෙකි.

1973 දී ලබාදුන් ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ඇමරිකාව තුළ ගබ්සාව නීති ගත කරනු ලැබ තිබේ.

ඒ අනුව ගබ්සාව නීති විරෝධී බවට පත් කළ හැක්කේ අධිකරණ තීන්දුවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පමණි.