බ්‍රසල්ස් ප්‍රහාර: ජනතාව තැති ගැන්විලා - ශ්‍රී ලාංකිකයෙක්

බ්‍රසල්ස් නුවරට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එරට ජනතාව තැති ගැන්වී සිටින බව බෙල්ජියමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන සතාසිවම් සෙන් තමිල්සෙල්වම් පවසයි.

බ්‍රසල්ස් නුවර සිට කිලෝමීටර හැත්තෑවක් පමණ දුරින් පිහිටි 'ඇන්ට්වර්ප්' නගරයේ වසෙන සතාසිවම් සෙන් සංදේශයට කියා සිටියේ ඉදිරියේ කුමක් වෙයිදැයි යන්න සම්බන්ධයෙන් එහි වෙසෙන ජනතාව බියට පත් වී සිටින බවයි.

''හැමෝම බය වෙලා ඉන්නේ. ව්‍යාපාරික ස්ථානවලට යන්න බයයි. එළියට යන්න බයයි.''

පාසල්වලට පැමිණ සිය දරුවන් නිවෙස් වෙත රැගෙන යන මෙන් බලධාරීන් දෙමව්පියන්ට දන්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.

තමා වෙසෙන 'ඇන්ට්වර්ප්' නගරයේ දුම්රිය ස්ථානය වසා දමා ඇති බව පවසන ඔහු ප්‍රහාර සම්බන්ධයෙන් සියලු දෙනා දුකට පත් වී ඇති බව කියා සිටියේය.

කෙසේ නමුත් තමා වැනි වෙනත් රටවලින් පැමිණ බෙල්ජියමයේ පදිංචි වූ විදේශිකයන්ට ස්වදේශිකයන්ගෙන් බලපෑමක් නොමැති බවයි සතාසිවම් සෙන් තමිල්සෙල්වම් වැඩිදුරටත් සඳහන් කළේ.

බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපල සහ උමං දුම්රියපලකට <link type="page"><caption> එල්ල වූ ප්‍රහාර</caption><url href="http://www.bbc.com/sinhala/world/2016/03/160322_senehe_brussels_explosions" platform="highweb"/></link> හේතුවෙන් මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව තිස් එකකි.