එක්සත් ජාතීන් ජුලියන් අසාන්ජ්ගේ රැකවරණයට

ජුලියන් අසාන්ජ් එක්වදෝර් තානාපති කාර්යාලයේ ජනේලයෙන් මාධ්‍ය අමතයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජුලියන් අසාන්ජ් එක්වදෝර් තානාපති කාර්යාලයේ ජනේලයෙන් මාධ්‍ය අමතයි

තමන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගත් බවට ‘විකිලීක්ස්’(Wikileaks) වෙබ් අඩවියේ ආරම්භක කතෘ ජුලියන් අසාන්ජ්(Julian Assange) කළ පැමිණිලක් විභාග කළ එක්සත් ජාතීන්ගේ කමිටුවක් විසින් ඔහුට වාසි සහගත තීන්දුවක් ලබා දී ඇති බව බීබීසියට දැන ගන්නට ලැබී ඇත.

ලිංගික අඩන්තේට්ටම් කළ බවට එල්ල වන චෝදනා යටතේ ඔහු ස්වීඩනයට භාරදෙනු ලැබීමෙන් වැළකී සිටීම සඳහා අසාන්ජ් ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබමින් සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty

ස්වීඩන් කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන චෝදනා යටතේ නඩු විභාගයක් සඳහා ජුලියන් අසාන්ජ් තමන්ට භාර දෙන මෙන් ස්වීඩන් බලධාරීන් 2012 වසරේදී ඉල්ලීමක් කිරීමත් සමගයි ඔහු එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබා ගත්තේ.

වසර තුනක් තානාපති නිවස තුල

ජුලියන් අසාන්ජ් ස්වීඩනයට භාර දිය යුතුද නැද්ද යන්න විභාග කළ බ්‍රිතාන්‍ය අධිකරණ තීන්දුව වූයේ ඔහු ස්වීඩනයට භාර දිය යුතු බවයි.

ඒ අතරවාරයේ එක්වදෝරය ඔහුට දේශපාලන රැකවරණ ප්‍රදානය කළ අතර අසාන්ජ් ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යාලය තුල රැකවරණ පැතීය.

ඔහු මේ වන විට අවුරුදු තුනකට අධික කාලයක් එක්වදෝර් තානාපති කාර්යාලයට කොටුවී සිටියි.

අසාන්ජ් රැඳී සිටින තානාපති කාර්යාලය වටකොට පොලිස් රැකවල්

ඡායාරූප මූලාශ්‍රය,

ඡායාරූප ශීර්ෂ වැකිය, අසාන්ජ් රැඳී සිටින තානාපති කාර්යාලය වටකොට පොලිස් රැකවල්

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පවසන්නේ ජුලියන් අසාන්ජ් තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණියොත් අත්අඩංගුවට ගන්නා බවයි.

විකිලීක්ස් වෙබ් අඩවිය, ඇමෙරිකානු රාජ්‍ය රහස් ඇතුළත් ලිය කියවිලි රැසක් හෙළිදරව් කළ අතර ස්වීඩනයට යැව්වොත් ,එරට බලධාරීන් විසින්අසාන්ජ් එක්සත් ජනපදයට භාර දෙනු ලැබීමට ඉඩකඩ ඇති බවට ඔහුගේ ආධාරකරුවෝ බිය පළ කරති.