සභාපති මා ඕ ගැන 'අසූචිවලින් ඔත්තු බැලූ' ස්ටාලින්

ඡායාරූප මූලාශ්‍රය, AP
නව චීනයේ නිර්මාතෘ මා ඕ සේතුං පිළිබඳව ඔත්තු බැලීම පිණිස සෝවියට් දේශයේ හිටපු නායක ජෝසප් ස්ටාලින් රහසිගතව ඔහුගේ අසූචි පවා රැස් කළ බව හිටපු සෝවියට් ඔත්තුකරුවෙක් පවසයි.
එසේ කී විට කිසිවෙකුට එක්වරම සිහියට නැගෙන්නේ ඉතා දුගඳ මුසු අත්දැකීමක් ගැන.
එහෙත් ඔත්තු බැලීමට අවශ්‍ය වූ විදේශීය රාජ්‍ය නායකයන්ගේ අසූචි රැස් කිරීම පිණිසම ස්ටාලින් (ස්තාලින්) ගේ රහස් පොලිසිය 40 හේ දශකයේදී විශේෂ දෙපාර්තම්න්තුවක් පිහිට වූ බව රුසියානු පුවත්පත් වාර්තාවල දැක්වේ.
වෙනත් වචනවලින් කිවහොත්, එහි අරමුණ අසූචි මාර්ගයෙන් ඔත්තු බැලීම.

රුසියානු රහස් ඔත්තු සේවා ගැන පර්යේෂණයක නිරතව සිටියදී මේ රහස සොයා ගත් බවයි, හිටපු සෝවියට් ඔත්තුකරුවකු වන ඊගර් අතමනෙන්කෝ පවසන්නේ.
"ඒ දවස්වල සෝවියට් ඔත්තුකරුවන්ට අද කාලේ වගේ රහසිගතව සවන් දෙන උපකරණ තිබුණේ නෑ," ඒ ඔහුගේ පැහැදිලි කිරීම.
"ඒ නිසා තමයි කෙනෙක් ගැන තොරතුරු රැස්කිරීම සඳහා හිතාගන්නවත් බැරිතරම් අමුතු විදියක ක්‍රමයක් අපේ විශේෂඥයෝ යෝජනා කළේ."
ඊගර් අතමනෙන්කෝ පවසන ආකාරයට, එම අසූචි පරීක්ෂා කළ විද්‍යාගාරයේ කටයුතු භාරව සිටියේ සෝවියට් ආඥාදායක ස්ටාලින් ගේ සමීපතම සගයකු වූ ලව්රෙන්ති බෙරියා විසින්.
ඒ අසූචි සාම්පලවලින් ඔවුන් එළැඹි නිගමන මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"උදාහරණයක් විදියට අසූචිවල පොටේසියම් අඩුවෙන් තිබුන නම්, ඒ පුද්ගලයා නින්ද නොයන, නිතරම චකිතයෙන් පෙලෙන්නෙක් කියල ඔවුන් නිගමනය කළා."
1949 දී චීන නායක මා ඕ සේතුං මොස්කව් නුවර සංචාරය කළ අවස්ථාවේ සෝවියට් ඔත්තුකරුවන් ඔහු පිළිබඳව ඔත්තු බැලීම පිණිස යොදා ගනු ලැබුවේ මේ ක්‍රමය බවයි ඊගර් අතමනෙන්කෝ පවසන්නේ.
ඒ සඳහා මා ඕ සේතුං භාවිත කළ වැසිකිලියේ අසූචි ගොඩනැගිල්ලෙන් පිටත අසූචි වලට වැටෙනු වෙනුවට, රහසිගත පෙට්ටියකට රැස් වන ආකාරයට විශේෂ වැසිකිලියක් සකස් කර තිබුණු බව පැවසේ.
ආහාර සහ මත්පැන් සංග්‍රහ විඳිමින් දින දහයක් මුළුල්ලේ මා ඕ සෝවියට් දේශයේ ගත කළ අතරවාරයේ ඔහුගේ අසූචි පරීක්ෂාවේ ප්‍රතිඵල පිරික්සා බැලූ ස්ටාලින්, ඔහු සමඟ සම්මුතියකට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ බව විශ්වාස කෙරේ.
ස්ටාලින් ගේ අනුප්‍රාප්තිකයා වූ නිකිතා කෘෂෙෆ් එම වැඩපිළිවෙල අත්හැර දමා රහසිගත විද්‍යාගාරයද වසා දැමූ බව කොම්සොමෝල්ස්කයා ප්‍රව්දා පුවත්පත වාර්තා කරයි.
රහසිගත 'අසූචි ව්‍යාපෘතිය' පිළිබඳව බීබීසී ය කළ විමසීමේදී රුසියාවේ එෆ්එස්බී රහස් ඔත්තු සේවය කියා සිටියේ, ඒ ගැන තමන්ට කිසිවක් කිව නොහැකි බවයි.
(<italic>BBC News වෙබ් අඩවියේ <link type="page"><caption> ස්ටීව් රොසෙන්බර්ග්</caption><url href="http://www.bbc.co.uk/news/world-asia-35427926" platform="highweb"/></link> ගේ වාර්තාවක් ඇසුරෙන්</italic>)








