ඉන්දියාවේ ගව මස් විරෝධීන් පහළොවකට නඩු

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කලහකාරී කණ්ඩායමක් විසින් මොහම්මද් අඛ්ලාක් නමැති පුද්ගලයාට මිය යන තෙක් පහර දී තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කලහකාරී කණ්ඩායමක් විසින් මොහම්මද් අඛ්ලාක් නමැති පුද්ගලයාට මිය යන තෙක් පහර දී තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි

ගව මස් ආහාරයට ගත් බවට හින්දු ආගමිකයන්ගේ චෝදනා ලද මුස්ලිම් ජාතිකයකුට පහර දී මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුවන් පහළොස් දෙනකුට එරෙහිව නඩු පවරා ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

නඩු පවරන ලද ඉහත කී සැකකරුවන් අතර බාලවයස්කරුවකු ද සිටින බවයි පොලිසිය කියා සිටියේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කලහකාරී කණ්ඩායමක් විසින් මොහම්මද් අඛ්ලාක් නමැති පුද්ගලයාට මිය යන තෙක් පහර දී තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.

එහිදී විසි දෙහැවිරිදි ඔහුගේ පුතු බරපතළ ලෙස තුවාල ලැබූ අතර ඔහු රෝහල් ප්‍රතිකාර සඳහා රැගෙන යාමට සිදු වූ බවයි පොලිසිය කියා සිටියේ.

‘අපි පුද්ගලයන් පහළොස් දෙනකුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කොට තිබෙනවා. මේක මිනී මැරුම් නඩුවක්’ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ප්‍රංශ පුවත් සේවයට පවසා තිබේ.

මරා දැමුණු මුස්ලිම් ජාතිකයාගේ පවුලේ ඥාතීන්
ඡායාරූප ශීර්ෂ වැකිය, මරා දැමුණු මුස්ලිම් ජාතිකයාගේ පවුලේ ඥාතීන්

මුස්ලිම් භක්තිකයාගේ ඝාතනයත් සමග වෙනස් ආගමික ඇදහිලි සහ විශ්වාසයන් නොඉවසීම පිළිබඳ ඉන්දියාව පුරා දැඩි සංවාදයට බඳුන් විය.

ඉන්දියාවේ ප්‍රාන්ත බොහෝමයක ගව ඝාතනය නීතියෙන් තහනම්.

ඉන්දියානුවන් බහුතරයක් හින්දු භක්තිකයන් වන අතර ඔවුහු ගවයා දේවත්වයේ ලා සලකති.

ගව ඝාතනය, වෙළඳාම සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින නීති රීති දැඩි කිරීමට වර්තමාන ඉන්දීය හින්දු දක්ෂිණාංශික ආණ්ඩුව කටයුතු කළේය.