අතුරුදහන් වී සිටි රුසියානු ගුවන් නියමුවා 'ජීවතුන් අතර'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිරියානු දේශ සීමා කලාපයේදී බිම හෙලන ලද රුසියානු යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනාගෙන් එක් අයකුගේ දිවි බේරා ගැනීමට සිරියානු හමුදා සමත් වී ඇති බව වාර්තා වේ.
ප්‍රංශයේ සිටින රුසියානු තානාපති ඇලෙක්සැන්දර් ඔර්ලොව්ෆ් සහ සිරියානු ආණ්ඩු හිතවාදී මූලාශ්‍ර කියා සිටියේ ප්‍රහාරක යානය අනතුරට පත් වීමත් සමග අතුරුදහන් වී සිටි ඉහත කී ගුවන් නියමුවා ලටාකියා ප්‍රදේශයේ පිහිටි රුසියානු ගුවන් මෙහෙයුම් මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි.
කෙසේ නමුත් ඒ බව මොස්කව් බලධාරීන් විසින් මේ දක්වා සනාථ කර නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තුර්කි හමුදා විසින් බිම හෙලන ලද ප්‍රහාරක යානයේ ගමන් ගත් අනෙක් ගුවන් නියමුවා මරුමුවට පත් වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.
යානය වෙත ප්‍රහාර එල්ල කිරීමට පෙර එහි ගමන් ගත් රුසියානු ගුවන් නියමුවන් සම්බන්ධ කර ගැනීම සඳහා තුර්කි ගුවන් නියමුවන් කිසිඳු උත්සාහයක් දරා නොමැති බව රුසියානු ආරක්ෂක බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කොට තිබේ.
ප්‍රහාර එල්ල කිරීමට පෙර එහි සිටි රුසියානු ගුවන් නියමුවන් වෙත නොනවත්වා අනතුරු හඟවා සිටි බවයි තුර්කිය පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
රුසියානු ප්‍රහාරක යානය තම ගුවන් කලාපය උල්ලංඝනය කරමින් පියසර කළ බවයි තුර්කිය කියා සිටියේ.
නමුත් රුසියානු ජනපති වැලැද්මීර් පූතින් අවධාරණය කළේ 'F-16' වර්ගයේ තුර්කි ප්‍රහාරක යානා විසින් 'Su-24' වර්ගයේ රුසියානු ප්‍රහාරක යානය වෙත මිසයිල ප්‍රහාර එල්ල කොට ඇත්තේ සිරියානු ගුවන් කලාපයේ පියාසර කරමින් සිටියදී බවයි.
'Su-24' වර්ගයේ රුසියානු ප්‍රහාරක යානය බිම හෙලීමෙන් අනතුරුව දියත් කළ බේරා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ රුසියානු හමුදාවට අයත් හෙලිකොප්ටරයක් සිරියානු කැරලිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති බවත් රුසියානු හමුදා පවසයි.
එම ප්‍රහාරයෙන් එක් රුසියානු හමුදා සෙබළකු මරුමුවට පත් වූ බවයි රුසියානු හමුදා කියා සිටියේ.








