රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙලීම පුතින්ගේ උදහසට

ප්‍රහාරයට ලක් වූ යානය සිරියාවේ 'ලටිකා' ප්‍රදේශයට පතිත වීමට පෙර පැරෂුට් ආධාරයෙන් යානයෙන් පිටතට පැන ගැනීමට රුසියානු ගුවන් නියමුවන් සමත් වී තිබේ

ඡායාරූප මූලාශ්‍රය,

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයට ලක් වූ යානය සිරියාවේ 'ලටිකා' ප්‍රදේශයට පතිත වීමට පෙර පැරෂුට් ආධාරයෙන් යානයෙන් පිටතට පැන ගැනීමට රුසියානු ගුවන් නියමුවන් සමත් වී තිබේ

තුර්කි ප්‍රහාරක ජෙට් යානා විසින් තුර්කි සිරියානු දේශ සීමාවට ඉහලින් පියාසර කළ රුසියානු ප්‍රහාරක ගුවන් යානයක් බිම හෙලීම රුසියානු ජනපති ව්ලැදමීර් පූතින් ශෝකයෙන් යුතුව හෙලා දැක තිබේ.

'F-16' වර්ගයේ තුර්කි ප්‍රහාරක යානා විසින් සිරියානු ගුවන් කලාපයේ පියාසර කරමින් තිබූ 'Su-24' වර්ගයේ රුසියානු ප්‍රහාරක යානය වෙත මිසයිල දෙකක් එල්ල කොට ඇති බවයි රුසියානු ජනපති ව්ලද්මීර් පුතින් කියා සිටියේ.

මේ අතර තුර්කිය පවසන්නේ තම ගුවන් කලාපය උල්ලංඝනය කරමින් සිටින බවට අනතුරු හැඟවීමෙන් පසු රුසියානු ප්‍රහාරක යානය බිම හෙලු බවයි.

නමුත් ප්‍රහාරයට ලක් වූ යානය සිරියානු ගුවන් කලාපය තුළ පමණක් පියාසර කළ බව රුසියාව දැඩි ලෙස කියා සිටියි.

'Su-24' වර්ගයේ රුසියානු ප්‍රහාරක යානයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 'Su-24' වර්ගයේ රුසියානු ප්‍රහාරක යානයක්

රුසියානු ජනපතිවරයා මෙම සිදුවීමේ හඳුන්වනු ලැබුවේ පිටුපස සිට එල්ල කළ පිහි ඇනුමක් ලෙසයි.

ප්‍රහාරයට ලක් වූ යානය සිරියාවේ 'ලටිකා' ප්‍රදේශයට පතිත වීමට පෙර පැරෂුට් ආධාරයෙන් යානයෙන් පිටතට පැන ගැනීමට රුසියානු ගුවන් නියමුවන් සමත් වී තිබේ.

සිරියානු කැරලිකරුවන් කියා සිටියේ ඒ අතර සිටි එක් නියමුවෙක් මරුමුවට පත් වී ඇති බවයි.

සිරියානු ජනපති බෂර් අල් අසාද්ට සහාය පළ කොට රුසියානු ප්‍රහාරක යානා සිරියාව තුළ ගුවන් මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.

රුසියානු ගුවන් යානා තුර්කි ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළු වූ බවට මීට පෙරත් තුර්කිය චෝදනා කොට තිබේ.

එසේ තුර්කි ගුවන් කලාපය උල්ලංඝනය කළ රුසියානු ප්‍රහාරක යානයකට බාධා කර කලාපයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් තුර්කිය මීට ඉහතදී පවසා තිබිණ.