කඩාවැටුණු රුසියානු ගුවන් යානය ගැන කරුණු කිහිපයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
මගීන් 224 ක් රැගෙන පියාසර කරමින් තිබුණු රුසියානු මගී ගුවන් යානය සිනායි අර්ධද්වීපයේ දී කඩාවැටුනේ මන්ද යන්න පිළිබඳව ඊජිප්තු, රුසියානු සහ ප්‍රංශ විශේෂඥයෝ පරීක්ෂණ පවත්වමින් සිටිති.
මගීන් සියලු දෙනාම අනතුරෙන් මියගිය අතර, ගතවගිය දශකය ඇතුලත එයාර්බස් යානයක් සම්බන්ධ බරපතලම ගුවන් අනතුර මෙයයි.
සිදුවූයේ කුමක්ද?
රතු මුහුදේ ෂාම් එල් ෂේක් නිවාඩු නිකේතනයේ සිට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය බලා ගුවන් ගනිමින් තිබියදීයි පසුගිය ඔක්තෝබර් 31 වැනිදා එයාර්බස් A321 යානය කඩාවැටුනේ.
ගුවන්ගත වී විනාඩි 22 කට පසුව මධ්‍යම සිනායි ප්‍රදේශයේදී යානය එක්වරම රේඩාර් තිරයෙන් අතුරුදහන් වූ බවයි, ඊජිප්තු විදේශ අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක දැක්වුණේ.

ඡායාරූප මූලාශ්‍රය, RIA Novosti
ඉන් අනතුරුව මධ්‍යධරණී මුහුදේ එල්-අරිෂ් මුහුදුබඩ නගරයට කිලෝමීටර් 35 ක් දකුණෙන් යානයේ සුන්බුන් සොයා ගනු ලැබුවේ ඊජිප්තු හමුදා ගුවන් යානා විසින්.
යානය ඉහල අහසේදී දෙකට කැඩී ඇති බව ගුවන්යානා කටයුතු සම්බන්ධ ජ්‍යෙෂ්ඨ රුසියානු නිලධාරියෙක් අනතුරෙන් දිනකට පසුව තහවුරු කළේය. එනමුත් අනතුරට හේතුව කවරක්දැයි නිගමනය කිරීමට තවමත් කල් වැඩි බවයි වික්තර් සොරොචෙන්කෝ එහිදී කියා සිටියේ.
යානයේ සුන්බුන්
යානයේ 'කළු පෙට්ටි' දෙකම මේ වනවිට හමු වී තිබෙන බව ඊජිප්තුවේ සිවිල් ගුවන් සේවා බලධාරීන් පවසන නමුත් අනතුරට හේතුව තවමත් අනාවරණය වී නැත.
ගුවන් නියමු කුටියේ හඬ පට සහ යානයේ අනෙක් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් සැබවින්ම සිදුවූයේ කුමක්දැයි අනාවරණය කරගැනීමට හැකිවිය හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, AP
අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක් විය හැකි බව සිනායි අර්ධද්වීපයේ නිලධාරියෙක් කලින් සඳහන් කළ නමුත්, කිසිදු 'අසාමාන්‍ය' ක්‍රියාකාරකමක් පිළිබඳව සැකයක් නැති බවයි, ඊජිප්තුවේ අගමැති ඉස්මයිල් ෂෙරිෆ් කියා සිටියේ.
කෙසේ නමුත් 'බාහිර බලපෑමක්' හේතුවෙන් යානය කඩා වැටී ඇති බව යානය අයත් ගුවන් සේවයේ මතයයි. ගුවන් නියමුවාගේ අත්වැරැද්දක් හෝ තාක්ෂණික දෝෂයක් අනතුරට හේතුව නොවන බව සමාගමේ අදහසයි.
අනතුරට ප්‍රථම නියමුවා ඒ පිළිබඳව අනතුරු ඇඟවීමක් කලේද යන්න සම්බන්ධයෙනුත් ඊජිප්තු බලධාරීන්ගෙන් පලවෙමින් තිබෙන්නේ එකිනෙකට පරස්පර අදහස්.
පරීක්ෂණ පවත්වන්නේ කවුරුන්ද?

රුසියානු සහ වෙනත් ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහාය සහිතව පරීක්ෂණය මෙහෙයවනු ලබන්නේ ඊජිප්තු බලධාරීන් විසින්. පරීක්ෂණය තමන්ට භාර දෙන මෙන් ඊජිප්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව රුසියානු නිලධාරියෙක් ඉඟිකොට තිබේ.
එයාර්බස් යානය නිෂ්පාදනය කළ ප්‍රංශයේ පරීක්ෂකයන්ද එයට සහායවීමට නියමිතයි. එයාර්බස් සමාගමේ විශේෂඥයන් හය දෙනෙකුත් සමගයි ප්‍රංශ පරීක්ෂකයන් පිරිස ඊජිප්තුවට පැමිණීමට නියමිතව තිබෙන්නේ.
අයර්ලන්තයේ ලියාපදිංචි කර ඇති යානය, රුසියානු සමාගම විසින් ලබාගෙන තිබෙන්නේ කල් බදු පදනමක් යටතේ. එබැවින් අයර්ලන්ත පරීක්ෂකයනුත් ඊජිප්තුවට ළඟාවීමට නියමිතයි.
අනෙක් අතට යානයේ එන්ජිම නිෂ්පාදනය කර තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ බැවින් ඇමෙරිකානු විශේෂඥයෝද පරීක්ෂණයට එක්වෙති.
අනතුරට ගොදුරු වූවෝ
රුසියානු ජාතිකයන් 219 දෙනකු, යුක්රේන ජාතිකයන් සිවු දෙනකු සහ බෙලරුස් ජාතිකයකු යානයේ ගමන් කළහ.
මගීන් 217 දෙනා අතරින් 138 දෙනකු කාන්තාවන් වූ අතර, පුරුෂයන් 62 ක් සහ දරුවන් 17 ක්ද යානයේ ගමන් කළහ.
ඒ සියලු දෙනාම සංචාරකයන්.








