චීනය සහ ඇමෙරිකාව අතර මතභේදයක්

චීනය සහ කළාපීය රටවල් ගණනාවක් දකුණු චීන මුහුදට හිමිකම් කියති
ඡායාරූප ශීර්ෂ වැකිය, චීනය සහ කළාපීය රටවල් ගණනාවක් දකුණු චීන මුහුදට හිමිකම් කියති

ඇමෙරිකානු යුද නෞකාවක් දකුණු චීන මුහුදේ දූපතකට සමීපව යාත්‍රා කරවීමේ තීරණයට විරෝධය පෑම පිණිස බෙයිජිං නුවර සිටින එක්සත් ජනපද තානාපතිවරයා චීන විදේශ අමාත්‍යාංශයට කැඳවා තිබේ.

දකුණු චීන මුහුදේ චීනය විසින් නිර්මාණය කරන ලද දූපතකට ආසන්නයෙන් ඇමෙරිකානු යුද නෞකාව යාත්‍රා කරවීමයි මේ ගැටුමට හේතු වී තිබෙන්නේ.

ඇමෙරිකානු බලධාරීන්ගේ පියවර වගකීම් විරහිත ක්‍රියාවක් ලෙසින් නියෝජ්‍ය විදේශ ඇමතිවරයා විග්‍රහ කළ බවයි, චීන රාජ්‍ය රූපවාහිනිය පවසන්නේ.

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Lassen නෞකාව දූපතට නාවික සැතපුම් 12 ක් දක්වා ආසන්න ප්‍රදේශයකට යාත්‍රා කළේය

ඡායාරූප මූලාශ්‍රය, US Navy

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Lassen නෞකාව දූපතට නාවික සැතපුම් 12 ක් දක්වා ආසන්න ප්‍රදේශයකට යාත්‍රා කළේය

චීනයේ ස්වාධිපත්‍යය සහ ආරක්ෂක අවශ්‍යතාවයන්ට බාධා වන කටයුතුවලින් වළකින්නැයි නියෝජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාව දූපතට නාවික සැතපුම් 12 ක් දක්වා ආසන්න ප්‍රදේශයකට යාත්‍රා කළේය.

දකුණු චීන මුහුදේ තමන් නිර්මාණය කළ දූපත තමන්ට අයත් භූමිභාගයක් බව චීනය අවධාරණය කරන නමුත් එක්සත් ජනපදය සහ කලාපයේ අනෙක් රටවල් එය ප්‍රතික්ෂේප කරයි.

ජාත්‍යන්තර නීතියට අනුකූලව සිය නෞකාව සුපුරුදු නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවයි, පෙන්ටගනය පවසන්නේ.

දකුණු චීන මුහුදේ චීනය අලුතින් ඉදි කළ දූපත

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු චීන මුහුදේ චීනය අලුතින් ඉදි කළ දූපත

කලාපයේ රටවල් කිහිපයක්ද එක්සත් ජනපදයේ ක්‍රියාකලාපය අනුමත කළේය.

එම කලාපයේ නිදහසේ යාත්‍රා කිරීම කාලාන්තරයක් මුළුල්ලේ අනුගමනය කළ සම්ප්‍රදායයක් බව පවසන පිලිපීනයේ ජනාධිපති බෙනිග්නෝ අකිනෝ, එබැවින් දෙරට අතර උණුසුම් තත්වයක් මතුවීමට හේතුවක් තමන්ට නොපෙනෙන බව කියා සිටියේය.

දකුණු මුහුදේ චීනය සිදුකරන ඉදිකිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය යොමුවීම සාධාරණ බවයි, ජපානයේ ඉහල පෙලේ නිලධාරියෙක් කියා සිටියේ.