මක්කම දොඹකරයක් කඩා වැටී 65 ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, EPA
මක්කම ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් හැට පස් දෙනකුවත් මරුමුවට පත් වූ බව සවුදි අරාබියේ සිවිල් ආරක්ෂක බලකාය ප්‍රකාශ කරයි.
මක්කම මහා පල්ලියට දොඹකරය කඩා වැටුණු අවස්ථාවේ තවත් අසූ දෙනකු තුවාල ලැබූ බවයි, සිවිල් ආරක්ෂක බලකායේ ට්විටර් පණිවිඩයක සඳහන් වෙන්නේ.
සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලි නැතත්, රතු පැහැති සුවිශාල දොඹකරයේ කොටසක් මහා පල්ලියේ වහල මතට කඩා වැටී ඇති අන්දම ඡායාරූපවල දැක්විණ.
වාර්ෂික හජ්ජි උත්සවය සඳහා මක්කම ඉස්ලාමීය පුද බිම සැරසෙමින් සිටින අතරවාරයේයි මේ අනතුර හටගෙන තිබෙන්නේ.

ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මාසය අගදී පැවැත්වෙන හජ්ජි උත්සවයට සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි.
මක්කම මහා පල්ලිය විශාල කිරීමේ කටයුතු කලක් මුලුලේම සිදුවෙමින් පවතින බවයි අරාබි කටයුතු පිළිබඳ බීබීසී විශ්ලේෂක සෙබස්තියන් යුෂර් පෙන්වා දෙන්නේ.




