සෞදි අරාබියෙන් යේමන් කැරලිකරුවන්ට ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AP
සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම් ලත් අරාබි රාජ්‍ය සන්ධානයේ යුද ගුවන් යානා යේමනයේ ජනාධිපති අබ්ද් රාබුහ් මන්සූර් හාඩි (Abd Rabbuh Mansour Hadi) පදවියෙන් නෙරපා හැරීමට මුල් වූ ෂියා ඉස්ලාමීය ‘හූති ’ (Houthi)කැරලිකරුවන්ගේ බල කඳවුරුවලට පහර දුන්හ.
සිය ප්‍රහාරක යානා මගින් කැරලිකරුවන් ‘සනා’(Sanaa) අගනුවර පිහිටුවා ගෙන තිබුන මිසයිල ප්‍රහාරක පහසුකම් සහ යුද ගුවන් යානා විනාශ කර දැමූ බවයි සෞදි අරාබිය පවසන්නේ.
මේ අතර ප්‍රකාශයක් කරන යේමන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රහාරයේ දී සාමාන්‍ය ජනයාට තුවාල සිදුව ඇති බවයි කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
‘හූති ’ (Houthi)කැරලිකරුවන්ට ආධාර කරන බවට සෞදි අරාබිය සහ සෙසු ගල්ෆ් රාජ්‍ය හවුල ඉරානයට චෝදනා කරති.
එම රටවල් පවසන්නේ කැරලිකරුවන් සමස්ත යේමනයේ බලය අල්ලා ගතහොත් එමගින් ඔවුන්ගේ ආරක්ෂාවට ඍජු තර්ජනයක් එල්ල වෙන බවයි.
සෞදි අරාබිය විසින් ‘හූති ’ (Houthi)කැරලිකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරය ඉරානයේ දෝෂ දර්ශනයට ලක් වී ඇත.
සංවාදයක් දෙසට

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එම ප්‍රහාරය මගින් ලේ වැගිරීමක් මිස ඉන් වෙනත් පලයක් නොලැබෙන බවයි ඉරාන් විදේශ ඇමති මොහමඩ් ජාවඩ් ෂරිෆ් (Mohammad Javad Zarif) පවසන්නේ.
යේමන් කැරලිකරුවන්ට එරෙහි ප්‍රහාරය වහාම නතර කරන මෙන් ඉල්ලා සිටි ඉරාන් විදේශ ඇමතිවරයා විසඳුමක් සඳහා සංවාදයක් අවශ්‍ය කරන බවයි පෙන්වා දෙන්නේ.
‘හූති’ (Houthi) කැරලිකරුවන්ගේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මොහම්මඩ් අල් බුකායිති(Mohammed al-Bukhaiti) ප්‍රකාශයක් කරමින්, සෞදි අරාබිය විසින් ගනු ලැබුණ යුදමය ක්‍රියා මාර්ගය නිසා යුද්ධය තවත් ව්‍යාප්ත වෙන බවයි කියා සිටියේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරන තුර්කිය සෞදි අරාබි යුද ක්‍රියා මාර්ගයට සහාය පළ කරන අතරවාරයේ කලාපයේ සාමයට තර්ජනයක් වී ඇති ක්‍රියාමාර්ග අත්හැර දමන මෙන් කැරලිකරුවන්ගෙන් සහ ඔවුන්ගේ විදේශීය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.








