වසර විස්සක් තිරගත වූ බොලිවුඩ් චිත්‍රපටය

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපටයක් වන 'දිල්වාලේ දුල්හානියා ලේජායින්ගේ' (නිර්භීත හදවතක් ඇත්තාට මනාලිය හිමි වේ) වාර්තා බිඳ දමමින් මුම්බායේ විසි වසරක් නොකඩවා තිරගත වූ එකම චිත්‍ර පටය බවට පත් වෙයි.

විසි වසරක් සපුරමින් අවසන් වරට අද (19 වනදා) තිරගත වන මෙම චිත්‍ර පටය සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහ කාජල් විසින් ප්‍රධාන චරිත වලට පණ පොවන ලද අතර පළමු වරට තිරගත වුයේ 1995 ඔක්තෝම්බර් මාසයේදීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

බොලිවුඩ් සිනමා රසිකයන් අතර ඉතා ජනප්‍රියත්වයට පත් මෙම සිනමා පටය ලන්ඩන් නගරයේ ජීවත් වන තරුණියක් සහ තරුණයෙකු යුරෝපීය සන්චාරයක දී හමු වී පෙමින් බැඳීම වටා ගෙතුනු හාස්‍ය මුසු ආදර කතාවකි.

මීට පෙර ඉන්දියාවේ වැඩිම කාලයක් නොකඩවා තිරගත කළ චිත්‍ර පටය ලෙස වාර්තාවක් පිහිටුවා තිබුණේ බොලිවුඩ් සිනමාවේ රජු හැටියට සලකන අමිතාබ් බච්චන්, සුප්‍රසිද්ධ නළු රාජේන්ද්‍රන් සහ හේමා මාලිනි ප්‍රධාන චරිත නිරූපනය කළ ශෝලේ චිත්‍ර පටයයි.

ශෝලේ සිය වාර්තාව පිහිටුවා තිබුණේ නොකඩවා වසර පහක් සිනමා හලක තිරගතවූ චිත්‍ර පටය ලෙසිනි.