ෂාරුක් ඛාන් ලොව දෙවැනි ධනවත් නළුවා

ඡායාරූප මූලාශ්‍රය, AFP
බොලිවූඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ලෝකයේ දෙවැනි ධනවත්ම නළුවා බවට පත්වෙයි.
ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන හයසියයක්.
විකට නළු ජෙරි සේන් ෆෙල්ඩ් (Jerry Seinfeld), වෙල්ත් එක්ස් (Wealth X) හොලිවූඩ් සහ බොලිවූඩ් ධනවත්ම ලැයිස්තුවට අනුව ලෝකයේ පොහොසත්ම නළුවායි.
ඔහු ඩොලර් මිලියන අටසිය විස්සක වටිනාකමකින් යුත් බවට ඇස්තමේන්තු කොට තිබේ.
තුන්වන ස්ථානය හිමිකර ගත් නළු ටොම් කෲස්ගේ වටිනාකම ඩොලර් මිලියන හාරසිය අසූවක්.
ෂාරුක් ඛාන් හොලිවූඩ් සිනමාවේ ටොම් හැන්ක්ස්, ක්ලින්ට් ඊස්ට් වූඩ් සහ ඇඩම් සැන්ඩ්ලර් යන නළුවන්ට වඩා පොහොසත් බවයි වෙල්ත් එක්ස් (Wealth X) ආයතනය පවසන්නේ.
ඉන්දියාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් අතිශයින්ම ජනප්‍රිය ෂාරුක් ඛාන් ඉන්දියාවේ හැඳින්වෙන්නේ බොලිවූඩ් බාඩ්සා නැත්නම් බොලිවූඩ් සිනමා සක්විති යනුවෙන්.
ෂාරුක් ඛාන් චිත්‍රපට නිෂ්පාදකයෙක්. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නෙක්. ඉන්දීය ක්‍රිකට් සමාජයක අයිතිකරුවෙක්. එසේම ධානපතියක්.

ඡායාරූප මූලාශ්‍රය, Ra one
ඔහු බොලිවූඩ් චිත්‍රපට පනහකට වැඩි ගණනක රඟපා තිබේ.
බීබීසියේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් සම්බන්ධ මෙම ප්‍රවෘතිය ඉන්දීය මාධ්‍යයට ලැබුන විට එය පුදුම එලවන තොරතුරක් නොවුන බවයි.
ව්‍යාපාරිකයෙක්
ඔහු චිත්‍රපට කරුවකු පමණක් නොව ව්‍යාපාරිකයකු බවත් වටහා ගත යුතු බවයි ඔහු පවසන්නේ.
“ඔහුට අයිති ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා. ඔහු චිත්‍රපට නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනවා. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔහු තමන්ගේ චිත්‍රපට නිෂ්පාදනය කරනවා. මේවයින් ඔහුට දිගටම ලාභ ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම බලපුවම ඔහු දෙවැනි පොහොසත් නළුවා කියන එක පුදුම වෙන්න කරුණක් නොවෙයි,”ඔහු පැවසුවේය.
පුවත් පත් වාර්තා ප්‍රතිචාර පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් බීබීසියේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් අමෙර්කානු නළු ටොම් කෲස් සහ ඇමරිකානු විකට නළු ඇඩම් සැන්ඩ්ලර් ට වඩා පොහොසත් ආදී වශයෙන් පුවත් පත් වාර්තා පලකොට ඇති බවයි.








