හිමාලයේ නායයාමෙන් විසි එක් දෙනෙක් මරුට

හමුදාව විසින් මේ වනවිටත් බොහෝ පිරිසක් බේරාගෙන තිබේ

ඡායාරූප මූලාශ්‍රය, nepalarmy.mil.np

ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදාව විසින් මේ වනවිටත් බොහෝ පිරිසක් බේරාගෙන තිබේ

මධ්‍යම නේපාලයේ හිමාලය කඳුකරයේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අඩුම තරමින් විසි එක් දෙනකුවත් මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අතරින් දස දෙනෙක් විදේශිකයන්.

විදේශීය සංචාරකයන් අතර ජනප්‍රිය මාර්ගයක් වන අන්නාපූර්න මාර්ගයේ දී හටගත් බරපතලම අනතුරෙන් නේපාල ජාතිකයන් අට දෙනකු, ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනකු සහ පෝලන්ත වැසියන් දෙදෙනකු මියගොස් තිබේ.

ඒ ප්‍රදේශයේදීම ගඟකට ගසා ගෙන ගිය ප්‍රංශ ජාතිකයකු මරුමුවට පත් වී ඇති අතර, හිම කඳු කඩා වැටීමෙන් සත්ව ගොවිපොළවල සිටි පුරුෂයන් තිදෙනකු මියගොස් තිබේ.

අතුරුදහන්ව සිටින තවත් විදේශිකයන් පස්දෙනකු ජීවතුන් අතර නැති බව විශ්වාස කෙරේ.

නායයාමෙන් දිවි බේරාගත් පුද්ගලයන් සෙවීම පිණිස යොදවා තිබෙන හමුදාව විසින් මේ වනවිටත් බොහෝ පිරිසක් බේරාගෙන තිබේ.