සරණාගතයන්ගේ පෙත්සමක් ඕස්ට්‍රේලියානු මහාධිකරණයේ

ඔස්ට්‍රේලියානු නාවික හමුදාව කළින් අවස්ථාවකදී බෝට්ටුවක් මුහුදේදී වටලන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියානු නාවික හමුදාව කළින් අවස්ථාවකදී බෝට්ටුවක් මුහුදේදී වටලන ආකාරය

මුහුදේ රඳවාගෙන සිටින දේශපාලන රැකවරණ පතා ආ 153 දෙනා ආපසු ශ්‍රී ලංකාවට යැවීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ඕස්ට්‍රේලියානු මහාධිකරණයේ විභාග කෙරේ.

ඔවුන් ආපසු හරවා නොයවන ලෙසට තාවකාලික අතුරු නියෝගයක් ඊයේ, සඳුදා පනවන ලදී.

දේශපාලන රැකවරණ පතා පැමිණි මේ පිරිස සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය කිසිවක් ප්‍රකාශ කිරීම කළින් ප්‍රතික්ෂේප කළද, රජය ඔවුන් රෙගු යාත්‍රාවල රඳවා සිටින බව අධිකරණ හමුවේ පිළිගෙන තිබේ.

දින තුනක කාල සීමාවක් ලබා නොදී ඔවුන් ආපසු නොයවන බවටත් ඕස්ට්‍රේලියානු රජය පොරොන්දුවක් දී ඇත.

සරණාගතයන් පිරිසක් වෙනුවෙන් නඩුව ගොනු කළ නීතිඥයන් පැවසුවේ ඔවුන් ආපසු හරවා යැවීම නීති විරෝධී බවයි.

ඔවුන්ගේ කැමැත්ත නොමැතිව ශ්‍රී ලංකාවට යැවීම සිදු නොකළ යුතු බවයි නීතිඥයන් පෙන්වා දෙන්නේ.

සංක්‍රමණික නීතිය

ඕස්ට්‍රේලියානු රජයේ නීතිඥයන් පැවසුවේ එම පිරිස රැගත් බෝට්ටුව ඉන්දියාවේ සිට පැමිණ ඇති බවට විශ්වාස කරන බවත් එය ඕස්ට්‍රේලියානු මුහුදු සීමාව පිටතදී නතර කළ බවයි.

මේ නිසා ඕස්ට්‍රේලියානු සංක්‍රමණික නීතිය යටතේ ඒ සම්බන්ධයෙන් කෙරෙන ඉල්ලීම් බල රහිත බව ඕස්ට්‍රේලියානු නීතිපති ජස්ටින් ග්ලීසන් පැවසුවේය.

දේශපාලන රැකවරණ පතා ඕස්ට්‍රෙලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු දැනටමත් ශ්‍රී ලංකාවට බාර දී තිබේ.