ඉන්දියාවේ දුම්රිය අනතුරින් හතරක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP

නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේදී දුම්රියක් පීලි පැනීමෙන් මගීන් හතර දෙනකු මරණයට පත්ව යටත් පිරිසෙයින් තවත් දහ දෙනකුවත් තුවාල ලැබ ඇතැයි ඉන්දියානු නිලධාරීහු පවසති.

දිල්ලි අගනුවර සිට ඊශාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය බලා ධාවනය වෙමින් තිබුණ අනතුරට ලක් වූ දුම්රියේ මගීන් පන්සීයක් පමණ ගමන් ගනිමින් සිටි බවයි වාර්තා වන්නේ.

එම අනතුර පිටුපස මාඕවාදී කැරලිකරුවන් සිටින බව ඉන්දීය දුම්රිය නිලධාරීන්ගේ සැකයයි.

අද බදාදා බිහාරයේ වැඩ වර්ජනයක් දියත් කරන බවට කැරලිකරුවන් විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබයි තිබුණේ.

මේ අතර , ඉහත කී අනතුර සිදු වූ කලාපයේ පොලිස් නිලධාරීන් බීබීසියට කියා සිටියේ, කඩාකප්පල්කාරී ක්‍රියාවක් පිළිබඳ ව කිසිදු සාධකයක් දක්නට නොලැබෙන බවයි.