ඉරාක කැරලිකරුවන්ට එරෙහි සටනට ඔබාමා

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක රජයට සහාය විය හැකි සෑම ආකාරයක් ම සලකා බලමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා පවසයි.
ජනාධිපති ඔබාමා මේ බව කියා සිටියේ ඉරාකයේ ප්‍රදේශ කිහිපයක් ඉස්ලාමීය කැරලිකරුවන් අතට පත් වී ඇති බවට වාර්තා වීමෙන් අනතුරුවයි.
හදිසි තත්වය
ඉස්ලාමීය කැරලිකරුවන් දිගටම තම මෙහෙයුම් දියත් කරන බවට ප්‍රතිඥා දී තිබිය දී ඉරාකයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉරාක පාර්ලිමේන්තුව ගත් උත්සාහය අසාර්ථක විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉරාක අගමැති නූරී අල් මලිකි කර තිබූ ඉල්ලීමට අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පමණට මන්ත්‍රීවරු පැමිණ සිටියේ නැත.
ඉරාකය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ තුන්සිය විසි පහක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් එකසිය විසි අට දෙනෙකු පමණි.
මේ වන විට මොසුල් සහ ටික්රිට් ප්‍රදේශ කැරලිකරුවන් අතට පත් වී ඇති අතර සමාරා ප්‍රදේශයට පැමිණි කැරලිකරුවන් ඉරාක ගුවන් හමුදා ප්‍රහාර හමුවේ එය අතහැර දමා ගොස් තිබේ.
තෙල් සම්පත් බහුල කිර්කුක් ප්‍රදේශය අතහැර ඉරාක හමුදා පලා යාම නිසා කුර්දි කැරලි කරුවන් එම ප්‍රදේශය අත්පත් කර ගෙන ඇත.




