සමූහ දූෂණය: පොලිස් පරීක්ෂණ ගැන පවුලේ කෝපය

ඡායාරූප මූලාශ්‍රය, AP
උතුරු ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයකදී සමූහ දූෂණයට ලක් කොට ගසක එල්ලා මරා දමන ලද බවට සැක කෙරෙන ඥාති සහෝදරියන් දෙදෙනා සම්බන්ධ පොලිස් පරීක්ෂණ පැවැත්වෙන ආකාරය පිළිබඳව ඔවුන්ගේ ඥාතීහු කෝපය පළ කරති.
දැරියන් දෙදෙනා නිවසින් අතුරුදහන්ව ඇති බව දැනුම් දී පැය දොළහකට අධික කාලයක් ගතවන තුරු පොලිසිය එම ස්ථානයට නොපැමිණි බවයි, ඔවුන් පවසන්නේ.
බීබීසියේ දිව්‍යා ආර්යා අපරාධය සිදු වූ ගම්මානයට ගිය අතර ගම් වැසියන් ඇයට කියා ඇත්තේ පොලිසිය හෝ රජය තමන්ට විශ්වාස කල නො හැකි හෙයින් මෙම සිදුවීම ලෝකයට ගෙන යාමට ඇති එකම මාර්ගය ජන මාධ්‍ය බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
මළ සිරුරු ගසෙන් ඉවත් කිරීමට පැය අටකට අධික කාලයක් ගත් නිසා තමන්ට සහ තම පවුලේ සාමාජිකයන්ට තම දියණියන් දෙදෙනා ගසෙහි එල්ලා තිබෙනු බලා සිටීමට සිදු වූ අතර එම සිද්ධියේදී පොලිසිය ඉතා රළු පිළිවෙතක් අනුගමනය කරමින් තම පවුලේ මානසික තත්වය හෝ සංවේදීභාවය නොසලකා කටයුතු කල බවයි අපරාධයට ගොදුරු වූ දැරියකගේ පියා කියා සිටියේ.
විශේෂ උසාවියක්
අපරාධය සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානයෙන් කල විමසීමක දී එහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පොලිසියට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කළේය.
එහෙත් නිසි පියවර නොගැනීම සහ පැමිණිල්ල භාරගනු ලැබීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා අනුව සේවය පැහැර හැරීම යටතේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සේවයෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කල බවයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පවසන්නේ.
දැරියන් මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට ප්‍රදේශවාසී පුරුෂයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
සිය රාජකාරිය පැහැර හරින ලද බවට චෝදනා ලත් පොලිස් නිලධාරියකුද ඒ අතර සිටින බවද වාර්තාවල දැක්වේ.
ඉහත කී අපරාධයට වගකිව යුතු චූදිතයන්ට එරෙහිව කඩිනම් නඩු විභාගයක් පැවැත්වීමට විශේෂ උසාවියක් පිහිටුවන බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුව පවසයි.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




