බ්‍රිතාන්‍යයත් අපරාධ අධිකරණය ඉදිරියට?

ඡායාරූප මූලාශ්‍රය, PA

බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් ඉරාකයේදී සිදු කරන ලද බවට එල්ල වෙන අපචාර චෝදනා සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණ ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමට නව තොරතුරු ලැබී ඇති බව හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසයි.

හිතුමතයේ සිදු කර ඇති මනුෂ්‍ය ඝාතන හෝ අයුතු ආකාරයට සැලකීම සම්බන්ධයෙන් හාරසීයකට අධික සාක්‍ෂි අන්තර්ගත ලිපි ගොණුවක් මානව හිමිකම් පිළිබඳ නීතිවේදීන් කණ්ඩායමක් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාර දෙනු ලැබීමෙන් අනතුරුවයි, ඉහත කී ප්‍රකාශය සිදු කෙරුණේ.

2006 වසරේ දී මෙම ප්‍රශ්නය සලකා බලා ඒ ගැන වැඩිදුර පියවර නො ගැනීමට තීන්දුවක් ගනු ලැබුණ නමුත් පිටු දෙසිය පනහකින් පමණ යුත් නව සාක්‍ෂි ගොනුව පසුගිය ජනවාරි මාසයේ භාර දෙනු ලැබීමෙන් අනතුරුවයි, එය විභාගයට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන නීති නිලධාරියා තීන්දු කර තිබෙන්නේ.

ඉරාක් සිරකරුවෙක්

ඡායාරූප මූලාශ්‍රය, bbc

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාක් සිරකරුවෙක්

2003 සහ 2008 අතර කාලය ඇතුළත ඉරාකයේ රඳවා සිටි බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් සිදු කරන ලදැයි චෝදනා කෙරෙන අපරාධ පිළිබඳවයි,හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අවධානය යොමු කෙරෙන්නේ.

බ්‍රිතාන්‍ය ප්‍රතිචාරය

නීතිපති ඩොමිනික් ග්‍රීව්, හේග් අධිකරණයේ ප්‍රකාශනය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් කියා සිටියේ, ඉරාකයේ දී සැලසුම් සහගතව අපචාර සිදු කර ඇති බවට සිය සොල්දාදුවන්ට එරෙහිව එල්ල කෙරෙන චෝදනා බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් සහමුලින්ම ප්‍රතික්ෂේප කරනු ලබන බවයි.

බ්‍රිතාන්‍ය යුද හමුදා අධිකරණ මණ්ඩලයේ ප්‍රධානියා ප්‍රකාශයක් කරමින් එවැනි විභාගයකදී සහයෝගයෙන් කටයුතු කරන බවයි කියා සිටියේ.

එහෙත් සොල්දාදුවන් ඉරාකයේ දී සිදු කරන ලදැයි එල්ල වෙන අපචාර සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව දැනටමත් විභාග කර ඇති හෙයින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පූර්ණ මට්ටමේ නිල විභාගයක් කරා යොමු නොවනු ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

අපචාර චෝදනා සම්බන්ධයෙන් හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ බ්‍රිතාන්‍යය විභාගයට ගනු ලබන පළමු වතාව මෙයයි