ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි - ඩේවිඩ් කැමරන්

යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා විභාග කිරීම පිණිස ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය සිය ශ්‍රී ලංකා සංචාරයේදී අවධාරණය කරන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.
බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ නියෝජිතයන් පිරිසක් සමඟ බ්‍රහස්පතින්දා ලන්ඩනයේ පැවති සාකච්ඡාවේදී එම ප්‍රතිඥාව දුන් අගමැතිවරයා, කෙසේ වුවත් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් බවද සඳහන් කළේය.
දශක ගණනාවක යුද ගැටුම්වලින් පීඩා විඳි දෙමළ ජනතාව මුණ ගැසීම පිණිස උතුරේ සංචාරයක යෙදෙන බවද අගමැතිවරයා දූත පිරිසට දැනුම් දුන් බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.
රොබට් බ්ලේක්

ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව බරපතල චෝදනා එල්ල වී තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම නුසුදුසු බවට දෙමළ නියෝජිතයන් පිරිස ඉදිරිපත් කළ තර්කයට පිළිතුරු දුන් අගමැතිවරයා කියා සිටියේ, එවැනි වර්ජනයක් මගින් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවනු ඇති බවයි.
ඉන්දියාවේ දිල්ලි අගනුවරදී වාර්තාකරුවන් ඇමතු නොබෙල් සාම ත්‍යාගලාභී ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරුවරයා මේ අතර කියා සිටියේ, පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව වර්ජනය කළේ නම් එමගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යහපතක් විය හැකිව තිබුණු බවයි.
ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, රාජ්‍ය නායක සමුළු වර්ජනය ආණ්ඩුවට බලපෑම් කළ හැකි එක් ක්‍රියාමාර්ගයක් විය හැකිව තිබුණු බවද ඔහු කියා සිටියේය.
අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ, නෙල්සන් මැන්ඩෙලා විසින් පිහිටුවන ලද 'දි එල්ඩර්ස්' (The Elders) කණ්ඩායමේ සභාපතිවරයායි.
විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව පොහොසත් වන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව සලකා බැලීමට සිදු වනු ඇතැයි හිටපු ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඔ බ්ලේක් මීට ඉහතදී සංදේශය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී සඳහන් කළේය.








