රඳවා ගත් විදේශීය මාධ්‍යවේදිනියෝ රටින් පිටවෙති

Arrested journalists in Colombo
ඡායාරූප ශීර්ෂ වැකිය, මාධ්‍යවේදිනියන්ගෙන් 'පැය නමයකට අධික කාලයක් ප්‍රශ්ණ කරලා'

පසුගිය බදාදා ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගන්නා ලද විදේශීය මාධ්‍යවේදිනියන් දෙදෙනා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංසදය පවසයි.

කොළඹ පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වැඩමුළුවකදී රඳවා ගනු ලැබූ ජැකී පාක් සහ ජීන් වර්තින්ග්ටන් මාධ්‍යවේදිනියන්ගෙන් පැය නමයකට අධික කාලයක් ප්‍රශ්ණ කොට තිබෙන නමුත් ඔවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් වී නැති බවයි, ජාත්‍යන්තර සංසදයේ ලේකම් බෙත් කොස්තා බීබීසී සංදේශය කළ විමසීමක දී කියා සිටියේ.

එමෙන්ම ඔවුන් රටින් පිටුවල් කිරීමක් සිදු වී නැති බවත් කියා සිටි බෙත් කොස්තා ඒ කෙසේ වුවත් මාධ්‍යවේදීන් පිරිසක් සමඟ කතා කරමින් සිටියදී ඔවුන් අත් අඩංගුවට ගැනීම තමන් දැඩිව හෙලා දකින බවද සඳහන් කළාය.

'බෙදා වෙන් කිරීමට'

සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් පළ කරන කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය, එම වැඩමුළුවට ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සහභාගි වෙමින් සිටින බවට බලධාරීන්ට රහසිගතව දැනුම් දී තිබෙන්නේ මාධ්‍යවේදීන් විසින්ම බව සඳහන් කොට තිබුණි.

එහෙත් එය සත්‍යයෙන් තොර බවයි ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංසදයේ ලේකම්වරිය පවසන්නේ.

කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ චෝදනාව, ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන බෙදා වෙන් කිරීමේ අරමුණින් කරන ලද්දක්ය යන්න තම විශ්වාසය බවයි බෙත් කොස්තා සංදේශයට කියා සිටියේ.