ගුවන් යානය සෙවීමට රටවල් විසි පහක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අතුරුදහන් වූ ගුවන් යානය සොයා ගැනීම සඳහා රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු ලබා දෙන ලෙස මැලේසියානු බලධාරීහු අසල්වාසී රටවල් ගණනාවකින් ඉල්ලා සිටිති.
මැලේසියානු ගමනාගමන අමාත්‍ය හිෂම්මුද්දීන් හුසේන් කියා සිටියේ රටවල් විසි පහක් යානය සෙවීමේ මෙහෙයුම් වලට එක්වී සිටින බවයි.
‘ඊයේ හෙළිදරව් වූ කරුණු අනුව දැවැන්ත ප්‍රදේශයක සෙවීමේ කටයුතු සිදු කරන්නට වෙලා තියෙනවා. අලුත් තොරතුරක් සමඟ කවුරු හෝ ඉදිරිපත් වුනොත් අපිට නිශ්චිත ප්‍රදේශයක් තුළ මෙහෙයුම් කළ හැකි වෙනවා. ඊයේ රාත්‍රියේ සිට අපි උත්සාහ කරන්නේ ඒ අරමුණ මත.’ මැලේසියානු ගමනාගමන ඇමතිවරයා ප්‍රකාශ කළේය.
හිතා මතා

ඡායාරූප මූලාශ්‍රය, Reuters
චන්ද්‍රිකා සංඥා වලට හා රේඩාර් උපකරණ මගින් සැපයෙන වාර්තා වලට අනුව අතුරුදහන් වූ ගුවන් යානයේ ගමන් මාර්ගයේ සිදුව ඇති වෙනස්කම්, යානය තුල සිටි අයෙකු විසින් හිතා මතා සිදු කර ඇති බවයි මැලේසියානු අගමැති නජිබ් රසාක් ඊයේ කියා සිටියේ.
MH370 යානයේ සන්නිවේදන පද්ධති හිතා මතාම අක්‍රීය කර ඇති බවත් ගමන් මග වෙනස් කිරීමෙන් පසුව තවත් පැය හතක කාලයක් යානය පියාසර කර තිබිය හැකි බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
ගුවන් නියමුවන් දෙදෙනා පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන අතර මේ වන විටත් ඔවුන්ගේ නිවෙස් සෝදිසි කර තිබේ.
මේ අතර තුර යානයේ සිටි සේවක පිරිස සහ සියළු මගීන් පිළිබඳව ද සොයා බලෙන බවයි වාර්තා වන්නේ.
සතියකට පෙර යානය අතුරුදහන් වුයේ මගීන් 239 දෙනෙකුද සමගයි.








