පාප් වහන්සේ පදවියට පත්ව වසරයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
ලොව පුරා රෝමානු කතෝලික බැතිමත්හු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පදවියට තෝරා පත්කර ගනු ලැබීමේ පළමු සංවත්සරය අනුස්මරණය කරමින් සිටිති.
ආර්ජන්ටිනා ජාතික බෙර්ගොග්ලිඕ කාදිනල්වරයා ලොව පුරා කතෝලික කාදිනල් හිමි වරුන්ගේ ඡන්දයෙන් මෙයින් වසරකට පෙර පාප් පදවිය සඳහා තෝරා පත් කර ගනු ලැබුණ අතර අනතුරුව උන්වහන්සේ ලොව හමුවේ පෙනී සිටියේ ෆ්‍රැන්සිස් යන නිල නාමයෙන්.
ලතින් ඇමෙරිකානු රටකින් පාප් පදවියට පත් පළමු ආගමික නායකයා වන්නේ උන්වහන්සේයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වරය උන්වහන්සේගේ පූර්වප්‍රාප්තික බෙනඩික් පාප් තුමන් සමඟ සසඳා බලන විට සැලකිය යුතු වෙනසක් ප්‍රදර්ශනය කරනු ලබන්නේය යන්න බොහෝ කිතුනුවන්ගේ තේරුම් ගැනීමයි.
වසරේ ජනප්‍රියම චරිතය
පදවියට පත් වීමේ පළමු සංවත්සරය නිමිත්තෙන් ‘ට්විටර්’පණිවුඩයක් මගින් එක්කෝටි විසි ලක්ෂයක් තම අනුගාමිකයන් අමතන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමන් වහන්සේ වෙනුවෙන් යාඥා කරන මෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත.
මෑත භාගයේ පත් වූ අන් කිසිදු පාප් වරයකුට වඩා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජනප්‍රියතාව අතින් ඉතා ඉහල මට්ටමක පසු වෙන බවයි, ඉතාලි මහජන මත විමසුමකින් පෙන්නුම් කෙරෙන්නේ.
එහෙත් වතිකානයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ දරු උපත් පාලනය සහ පූජක බ්‍රහ්මචර්යාව පාලනය වැනි කරුණු අතින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ වසරක නිල කාලය තුලත් විකල්ප විසඳුමක් ඉදිරිපත් නොකෙරුණ අතර එය හරයාත්මක වෙනසකට වඩා ශෛලියෙහි වෙනසක් ප්‍රදර්ශනය කෙරුණ කාල පරිච්ඡේදයක් වන බවයි.




