යුක්රේනයට එරෙහිව 'යුද්ධ ප්‍රකාශ කරලා'

ක්‍රිමියාව 'මුහුදින් සහ ගොඩ බිමින් වට කරනු ලැබ තිබෙන සෙයක්'

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිමියාව 'මුහුදින් සහ ගොඩ බිමින් වට කරනු ලැබ තිබෙන සෙයක්'

යුක්රේනයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශයට පත් කළ බවට රුසියාවට චෝදනා කරන වැඩ බලන අගමැති අර්සේනි යත්සේනියුක්, රුසියානු හමුදාව ආපසු කැඳවා ගන්නා මෙන් ජනාධිපති ව්ලදිමීර් පූතින් ගෙන් ඉල්ලා සිටියේය.

තමන් මුල්ම ප්‍රහාරය එල්ල නොකරන බව යුක්රේනය අවධාරණය කරන නමුත්, ඕනෑම ගැටුම්කාරී තත්වයකට මුහුණ දීම පිණිස හමුදාව සීරුවෙන් තබා ඇති අතර, ස්වේච්ඡා බල ඇණිද සේවයට කැඳවන මෙන් හමුදාවට නියෝග කොට තිබේ.

කෙසේ නමුත් යුද ගැටුමකින් තොරව අර්බුදය විසඳා ගැනීම පිණිස හැකි සෑම උත්සාහයක්ම දරන බවයි, බීබීසීය සමඟ අදහස් දැක්වූ යුක්රේනයේ වැඩ බලන විදේශ අමාත්‍ය අන්ද්‍රේයි දෙශිත්සා කියා සිටියේ.

'යුද්ධයක ආරම්භය'

"සාමකාමීව කටයුතු කරලා මේක නැවැත්වීම පිණිස රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ක්‍රියා කිරීමයි අපේ ප්‍රතිපත්තිය. දැන් අපි කතා කරන්නේ යුක්රේනය ගැන පමණක් නොවෙයි; මම හිතතෙන් සමස්ත කලාපයටම එල්ල වෙන ව්‍යසනයක් ගැන. යුරෝපයටත්, සමස්ත ජාත්ය්නතරයටමත් ඒකෙ බලපෑම දැනෙන්න පුළුවන්," යනුවෙන්ද ඔහු පැවසීය.

ස්වේච්ඡා බල ඇණිද සේවයට කැඳවා තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්වේච්ඡා බල ඇණිද සේවයට කැඳවා තිබේ

රුසියාවේ ඕනෑම හමුදා ප්‍රහාරයක් යුද්ධයක ආරම්භය සහ දෙරට අතර සම්බන්ධතාවයන්හි අවසානය විය හැකි බවටද යුක්රේන බලධාරීහු අනතුරු අඟවති.

ක්‍රිමියානු අර්ධද්වීපය අවට මුහුදේ තවත් රුසියානු ප්‍රහාරක යානා දැක ගන්නට ලැබුණු නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මේ වන තුරු වාර්තා වී නොමැත.

ක්‍රිමියාව අසල දේශසීමාවේ රුසියානු ආරක්ෂක හමුදා අගල් කණිමින් සිටින ආකාරයක් බීබීසීයට දැක ගන්නට ලැබිණ.

ක්‍රිමියාව මුහුදින් සහ ගොඩ බිමින් වට කරනු ලැබ තිබෙන සෙයක් දක්නට ලැබෙන බවයි, බීබීසී වාර්තාකරුවන් පවසන්නේ.