බංග්ලාදේශ් ඉස්ලාමීය නායකයාට මරණීය දණ්ඩනය

අබ්දුල් කාදර් මොල්ලා ඔහුට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, අබ්දුල් කාදර් මොල්ලා ඔහුට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරයි.

බංග්ලාදේශ් ජමාට් ඉස්ලාමීය නායක අබ්දුල් කාදර් මොල්ලා ඩකා අගනුවර මධ්‍යම බන්ධනාගාරයේදී එල්ලා මරා දමන ලද බව නිවේදනය කෙරිණ.

බංග්ලාදේශය,1971 වසරෙහි පාකිස්තානයට එරෙහිව ගෙන ගිය නිදහස් අරගලයේදී මානව වර්ගයාට එරෙහිව සාපරාධී ක්‍රියාවන්හි නිරත වූ බවටයි, අබ්දුල් කාදර් මොල්ලා චෝදනා ලැබ සිටියේ.

අබ්දුල් කාදර් මොල්ලා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා බැලූ බංග්ලාදේශ් ශ්‍රේෂ්ඨාධිකරණය දඬුවම තහවුරු කිරීමෙන් අනතුරුවයි, මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණේ.

ජනාධිපති සමාව

නඩු තීන්දුවට එරෙහිව නීතිවේදියෝ උද්ඝෝෂණයේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, නඩු තීන්දුවට එරෙහිව නීතිවේදියෝ උද්ඝෝෂණයේ.

බංග්ලා දේශයේ නීතිපති මහ්බුබ් ඉ අලාම් බීබීසියට ප්‍රකාශයක් කරමින් කියා තිබුනේ,චූදිතයාට ජනාධිපති සමාවක් දීමේ ඉඩකඩක් පවතින බවයි.

බංග්ලාදේශ් විශේෂ යුද අපරාධ අධිකරණයක් විසින් ඉස්ලාමීය නායකයන් කීප දෙනකුට මේ වසරේ මරණීය දණ්ඩනය නියම කරනු ලැබ ඇති අතර, අබ්දුල් කාදර් මොල්ලා ඔවුන් අතරින් එල්ලා මරා දමනු ලැබුන පළමු පුද්ගලයා වෙයි.

‘ඩකා’ අගනුවර ද ඇතුළුව රට පුරාම ආරක්ෂක රැකවරණ තර කරනු ලැබ ඇති බවයි,බංග්ලාදේශයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.