තායිලන්ත උද්ඝෝෂකයෝ ආණ්ඩුවේ කාර්යාල වටලති

ආණ්ඩුව පෙරලා දැමීමේ උත්සාහයක් වශයෙන් දහස් ගණන් උද්ඝෝෂකයෝ තායිලන්තයේ බැංකොක් අගනුවර ආණ්ඩුවේ කාර්යාල, රූපවාහිනී මධ්‍යස්ථාන සහ පොලිස් මූලස්ථානයට කඩා වැදීමට උත්සාහ කළහ.
ආණ්ඩුවේ කාර්යාල සහ වෙනත් ස්ථානවලින් උද්ඝෝෂකයන් ඉවත් කිරීම පිණිස කැරලි මර්ධක පොලිසිය සතියක් ඇතුලත් පළමු වරට කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ අතර, ඔවුන්ට සහාය දීම පිණිස නිරායුධ හමුදා භට ඛණ්ඩ යොදවා තිබිණ.
දැනට පිටුවහල්ව සිටින හිටපු අගමැති තක්ෂින් ෂිනවත් ගෙන් නියෝග ලබා ගන්නා බවට අගමැතිනි යින්ලක් ෂිනවත්ට චෝදනා කරන උද්ඝෝෂනයේ නායකයෝ ආණ්ඩුවට එරෙහිව නැගිටින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
එහෙත් අද දිනය නිමා වන විට ඔවුන් ඉල්ලා සිටියේ ඒ වෙනුවට හෙට සඳුදා සිට මහා වැඩ වර්ජනයක් දියත් කරන ලෙසයි.
පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ගැටුම්වලින් මේ වන විට සිවු දෙනකු මරුමුවට පත් වී තිබේ.




