මොර්සි යලි පත් කරන්නැයි ඊජිප්තුවේ උද්ඝෝෂණ

Morsi supporters in Egypt
ඡායාරූප ශීර්ෂ වැකිය, ඊජිප්තුවේ පවතින අස්ථාවර භාවය මුළු කලාපයටම බලපාන බව එක්සත් ජනපදය පවසයි

බලයෙන් පහ කෙරුණු ඊජිප්තු ජනාධිපති මොහමඩ් මොර්සි යළි ධූරයෙහි පිහිටුවන ලෙස බල කරමින් ඔහුගේ ආධාර කරුවන් දහස් ගණනක් යලිත් කයිරෝ නුවර වීදි බැස සිටිති.

මේ අතර තුර එයට විරෝධය පෑම සඳහා මොර්සිගේ විරුද්ධවාදීන්ද යලිත් තහ්රීර් චතුරශ්‍රයට රොක් වීමට සැලසුම් කරමින් සිටින බවයි වාර්තාවන්නේ.

ඊජිප්තුවේ පවතින අස්ථාවර භාවය මුළු කලාපයටම බලපාන බව සඳහන් කරමින් එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා සිය කනස්සල්ල පළකර සිටියේය.

ඊජිප්තු අගමැතිවරයා වශයෙන් ප්‍රධාන පෙළේ විරුද්ධ පක්ෂ නායකයෙකු වන එල් බරාදෙයි පත් කළ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කළ භාරකාර ජනාධිපතිවරයා කියා සිටියේ, ඒ සඳහා අපේක්ෂකයන් කිහිප දෙනෙකුම ඉදිරිපත් වී සිටින බවයි.