'අමානුෂික' රියදුරන් ගැන ඉන්දියාවේ ආන්දෝලනයක්

උතුරු ඉන්දියාවේ ජායිපූර් නගරයේ රිය අනතුරකට ලක්වූ පවුලකට උපකාර නොකර ඔවුන් පසුකර යන රියදුරන් දැක්වෙන දර්ශන රූපවාහිනියෙන් විකාශණය වීම රට පුරා කෝපාන්විත ආන්දෝලනයක් පැණ නැගීමට තුඩුදී තිබේ.
රථ වාහන තදබදය රූපගත කිරීම සඳහා සවිකර ඇති වීඩියෝ කැමරා මගින් පටිගතකෙරුනු දර්ශන වල දක්නට ලැබුණේ, අනතුරෙන් මියගිය සිය සිඟිති දියණිය සහ බිරිඳගේ මළ සිරුරු අසල, තුවාල ලත් පස් හැවිරිදි පුතණුවන් අතින් අල්ලාගත් පියකු ඔවුන් පසුකර යන රියැදුරන්ගෙන් උපකාර ඉල්ලා බැගෑපත්වන අයුරුයි.
අනතුරට පත් පවුලේ සාමාජිකයින් ගමන් කළ යතුරු පැදිය ලොරියක හැපීමෙන් පසු විනාඩි දහයක පමණ කාලයක් මෙම පිරිස උපකාර ඉල්ලමින් කල් ගත කරන අන්දම රූපවාහිනියෙන් දුටු විශාල පිරිසක්, කිසිවකු ඔවුනට සහාය වීමට නොපැමිණෙන අයුරු දැක කම්පාවටත් තම රට වැසියන් පිලිබඳ ලජ්ජාවටත් පත්ව ඇති බව වාර්තාකරුවෝ පවසති.




