ඖෂධ නාමයෙන් තොර බෙහෙතක් ඉන්දියාවේ තහනම්

ඖෂධ නාමයෙන් තොර බෙහෙත් වර්ගයක් තහනම් කරන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණය නියෝග කළේය.
පිළිකා රෝගයට නව ප්‍රතිකාරයක් වශයෙන් නිපදවුණ අලුත් ඖෂධයක් සඳහා පේටන්ට් බලපත් ලබා ගැනීමට Novartis ස්විට්සර්ලන්ත සමාගම විසින් ගනු ලැබූ උත්සාහයක් බැහැර ලමිනුයි, ඉන්දීය අධිකරණය එම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ.
"Glivec" යන නමින් ස්විස් සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නව ඖෂධය, කලින් භාවිතා කෙරුන ඖෂධයට වඩා ප්‍රමාණාත්මක වෙනස් නිමැවුමක් නොවන හෙයින් ඉන්දියානු නීතිය අනුව ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් දිය නොහැකි බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කළේය.
'වැදගත් පූර්වාදර්ශයක්'
නඩු තීන්දුව හෙළා දකිමින් Novartis ස්විට්සර්ලන්ත සමාගම කියා සිටින්නේ, වෛද්‍ය අංශයේ නව නිෂ්පාදන එවැනි තීන්දු මගින් අධෛර්යට පත් කෙරෙන බවයි.
ඖෂධ නාමයෙන් තොර බෙහෙත් මගින් කෙරෙන ප්‍රතිකාර අතින් බලන විට ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව නිසා දුප්පත් රටවලට ලාභ මිලට බෙභෙත් ලබා ගැනීමට අවස්ථාවක් උදාවන බව උද්ඝෝෂකයෝ පෙන්වා දෙති.
ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව මහජන සෞඛ්‍යය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සංවිධානවල අගය කිරීමට ලක් වෙමින් පවතී.
දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය (Medecins Sans Frontieres) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ එම තීන්දුව වැදගත් පූර්වාදර්ශයක් සපයන ලද බවයි.
එසේම එම තීන්දුව නිසා දුප්පත් රටවල බොහෝ ජනජීවිතවලට ආරක්ෂාවක් සහතික කෙරෙන බව ද එම සංවිධානය ප්‍රකාශ කරයි.








