රාජාභිෂේකය අතරතුර විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවට

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: රාජාණ්ඩු විරෝධී උද්ඝෝෂකයෙකු වන මැට් ටර්න්බුල් ට්‍රැෆල්ගා චතුරශ්‍රය අසලදී අත්අඩංගුවට.
    • Author, ඇඩම් ඩර්බින් සහ ඩැනියෙල් සැන්ඩ්ෆෝර්ඩ්
    • Role, බීබීසී පුවත්

රජුගේ රාජාභිෂේකය අතරතුර, ප්‍රමුඛ රාජාණ්ඩු විරෝධී කණ්ඩායමක නායකයෙකු ඇතුළු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ විවිධ හේතූ මත අත්අඩංගුවට ගැනීම් 52 ක් සිදු කර ඇති අතර ඔවුන් සියල්ලන්ම තවමත් අත්අඩංගුවේ පසුවන බවයි.

රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන් පෙර දින අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් කණ්ඩායම් විසින් " තැතිගන්වනසුලු " ලෙස නම් කර තිබේ.

මහජන සැලකිල්ල "තේරෙන" නමුත් නිලධාරීන් පවතින නීතිය යටතේ සැමට සමාන ලෙස ක්‍රියා කර ඇති බව මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසීය.

"විරෝධතාව නීත්‍යානුකූල වන අතර එය කඩාකප්පල්කාරී විය හැකිය," රාජාභිෂේක දින මෙහෙයුමට නායකත්වය දුන් අණදෙන නිලධාරී කැරන් ෆින්ඩ්ලේ පැවසුවේ - බොහෝ විරෝධතාවලට පොලිසිය යොදවා තිබුණත් කිසිදු අත්අඩංගුවට ගැනීමකින් නොකළ බවය.

"විරෝධතාව සාපරාධී බවට පත් වූ විට සහ බරපතල කඩාකප්පල් කාරී ක්‍රියාවක් ඇති කළ හැකි විට" මැදිහත් වීමට නිලධාරීන්ට රාජකාරියක් ඇති බව ඇය පැවසුවාය.

"මෙය අවස්ථානුකූල තත්ත්වය මත රඳා පවතිනවා. රාජාභිෂේකය පරම්පරාවකට එක් වරක් සිදුවන දෙයක්. එය අපේ තක්සේරු කිරීමේ ප්‍රධාන සලකා බැලීමක්."

රාජාණ්ඩු විරෝධී ප්‍රචාරක කණ්ඩායමේ ප්‍රධාන විධායක ග්‍රැහැම් ස්මිත් ට්‍රැෆල්ගා චතුරශ්‍රයේ විරෝධතාවකදී අත්අඩංගුවට ගන්නා විට රාජාභිෂේකය ආරම්භ වීමට පෙර සෙනසුරාදා අලුයම සිටම දැඩි ලෙස නීතිය බලාත්මක කර තිබූ බවට චෝදනා එල්ල විය.

"මාගේ රජු නොවේ"("Not My King") යන පාඨයන් සහිත ටී-ෂර්ට් හැඳ සිටි ස්මිත් ඇතුළු විරෝධතාකරුවන් රඳවාගෙන සිටින අයුරු දර්ශනවල දැක්වේ. රිපබ්ලික් පැවසුවේ පෙරහැර අසල පුවරු බාමින් සිටියදී පොලිසිය විසින් තමන්ව නතර කළ බවයි.

විරෝධතාකරුවන්ට බාධක වැනි දේවලින් ආරක්ෂා වීමට භාවිතා කළ හැකි "අගුලු දැමීමේ උපාංග" - තම භාරයට ගත් බව මෙට්‍රොපොලිටන් පොලිසිය පවසයි. මේ සතියේ සම්මත වූ, මෑතකදී සංශෝධනය කරනු ලැබූ නීතියක් අනුව, අගුලු දැමීමට සූදානම් වීම නීති විරෝධීය.

නමුත් රිපබ්ලික් පැවසුවේ තම පුවරු සුරක්ෂිත කිරීමේ පටි නිලධාරීන් "වැරදි ලෙස වටහාගෙන" ඇති බවයි.

Anti-monarchy protesters standing behind people carrying Union flags to watch the Coronation

ඡායාරූප මූලාශ්‍රය, PA Media

මෙම 52 දෙනා කලාහ, මහජන සාමය කඩකිරීම්, මහජන පීඩාවක් ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පසුව සපයන ලද සාරාංශයකින් හෙළි වූයේ 32 දෙනෙකු - හෝ අත්අඩංගුවට ගැනීම් වලින් 60% ක් පමණ - මහජන පීඩාවක් ඇති කිරීමට කුමන්ත්‍රණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් අය බවයි.

රාජාණ්ඩු විරෝධී උද්ඝෝෂකයින් කොපමණ සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත්ද යන්න මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් සඳහන් කර නැති, නමුත් දේශගුණික කණ්ඩායමක් වන 'ජස්ට් ස්ටොප් ඔයිල්' පැවසුවේ විරෝධතාකරුවන් 13 දෙනෙකු ලන්ඩනයේ වෙළඳ සංකීර්ණයේදී සහ තවත් පස් දෙනෙකු ඩව්නිං වීදියේදී අත්අඩංගුවට ගත් බවයි.

කණ්ඩායමේ ප්‍රකාශිකාවක පැවසුවේ ඔවුන්ගේ සැලසුම වුයේ "ටී-ෂර්ට් සහ කොඩි ප්‍රදර්ශනය කිරීම පමණක්" බවත්"මෙය අනීතික බියකරු සිහිනයක්" වූ බවය.

සෙසු පාරිසරික විරෝධතාකරුවන් වන 'Animal Rising'පැවසුවේ "රාජාභිෂේකයට සැතපුම් ගණනක් දුරින්" පැවති පුහුණු සැසියකදී ඔවුන්ගේ ආධාරකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගත් බවයි.

"රාජාභිෂේකයේ දී සාමකාමීව විරෝධය පෑමට එරෙහි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තා ඇදහිය නොහැකි තරම් තැතිගන්වන සුළුය", යනුවෙන් එක්සත් රාජධානියේ හියුමන් රයිට්ස් වොච් අධ්‍යක්ෂිකා යස්මින් අහමඩ් පැවසුවාය.

"මේක ඔබ මොස්කව්වලදී දැකීමට අපේක්ෂා කරන දෙයක් මිස ලන්ඩනයේ දී නම් නෙමෙයි."

සෙනසුරාදා සියගණනක් විරෝධතාකරුවන් මධ්‍යම ලන්ඩනයේ වර්ෂාවේම රැස්ව සිටි අතර ඔවුන්, "කිරුළ සමග බැස යන්න", "පොලිසිය කැඳවන්න එපා" සහ "සැබෑ රැකියාවක් ලබා ගන්න" ඇතුළු විරෝධතා පාඨ කියන ලදී.

අනෙකුත් විරෝධතා කාඩිෆ්, ග්ලාස්ගෝ සහ එඩින්බරෝ හි සංවිධානය කර තිබුණි. ලන්ඩනයෙන් පිටත කිසිදු අත්අඩංගුවට ගැනීමක් වාර්තා වී නොමැත.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: රාජාණ්ඩුවට එරෙහි විරෝධතාකරුවන් 'මගේ රජා නොවේ' යැයි කෑගසයි

අත්අඩංගුවට ගත් අයගෙන් පොලිස් නිලධාරීන් විස්තර ලබා ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප රිපබ්ලික් සිය ට්විටර් ගිණුමේ පළ කළේය.

කණ්ඩායම පැවසුවේ "සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය යටතේ බොහෝ දේ කරන්න පුළුවන්." තමන් අත්අඩංගුවට ගැනීමට හේතු පොලිසිය සඳහන් කර නැතැයි, උද්ඝෝෂණ සංවිධානය කළ කණ්ඩායම පැවසීය.

Officers seizing signs from a back of a lorry reading "Not my king"

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ට්‍රැෆල්ගා චතුරශ්‍රයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් විකාශය වූ රාජාභිෂේක උත්සවය අතරතුර, "දෙවියනි රජුව ආරක්ෂා කරන්න " යනුවෙන් ප්‍රකාශ කරන අවස්ථාවේදී විරෝධතාකරුවන් සිය ගණනක් හූ කියමින් කෑගසන්නට වූහ.

කාඩිෆ් සිටි සෙන්ටර් හි රාජාණ්ඩු විරෝධී රිපබ්ලික් කණ්ඩායම විසින් සංවිධානය කරන ලද විරෝධතාව සඳහා 300 ක් පමණ පිරිසක් රැස්ව සිටියහ.

ස්කොට්ලන්තයේ, ස්කොට්ලන්ත ස්වාධීනත්වය සඳහා පෙනී සිටින ආධාරකරුවන් ග්ලාස්ගෝ නගර මධ්‍යයේ පාගමනක යෙදෙමින් රාජාණ්ඩු විරෝධී සටන් පාඨ කියන අතරේ, ඡන්දයෙන් තේරී පත් වූ රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් උද්ඝෝෂණය කරන රිපබ්ලික් කණ්ඩායම වෙනම රැලියක් පවත්වන ලදී.