යුක්රේන යුද්ධය ප්‍රස්ථාරවලින්: වසරකට පසු වෙනස්වී ඇත්තේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ලෝනා හැන්කින් සහ රෆායෙල් චැකෝන්
- Role, බීබීසී ලෝක සේවය සහ දෘෂ්‍ය ජනමාධ්‍ය අංශය
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මේ වන විට වසරක් ගෙවීගොස් තිබේ.
2022 පෙබරවාරි 24 දා යනු බොහෝදෙනෙකුගේ මනසේ සදහටම රැඳී තිබෙණු ඇති දිනයකි.
එදා, රූපවාහිනියේ විකාශය කෙරුණු කතාවක් හරහා රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ "විශේෂ හමුදා මෙහෙයුමක්" දියත් කරන බවට නිවේදනය කළේ ය. ඒත් සමගම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එයින් වළකින්නැ යි ඔහුගෙන් ඉල්ලා සිටියේ ය.
යුක්රේනයේ කියෙව් අගනුවර පුරාවට ගුවන් ප්‍රහාර සයිරන් නාදවූ අතර එරට ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි මෙසේ අනතුරු ඇඟවීය: "යමෙකු අපේ භූමිය, අපේ නිදහස, අපේ ජීවිතය පැහැර ගැනීමට උත්සාහ කළොත්... අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වදිනවා."
ඉන් වසරක් ගෙවීගොස්, සටන්වල අවසානයක් පෙනෙන්නට නැති මේ මොහොතේ, අපි රුසියානු ආක්‍රමණයේ සිට අවතැන්වූ පුද්ගලයින් සංඛ්‍යාව සහ දෙපාර්ශවය භාවිතා කරන ආයුධවල වෙනස දක්වා තොරතුරු ඇතුළත් කළ ග්‍රැෆික් නිර්මාණ හරහා යුක්රේන යුද්ධයේ බලපෑම දෙස බලමු.
රුසියානු ආක්‍රමණයට පෙර යුක්රේන සිතියම

වසරකට ඉහත දී ආක්‍රමණය ඇරඹීමට පෙර, යුක්රේනයේ නැගෙනහිර පෙදෙසේ ඩොන්බාස් කලාපයේ සැලකිය යුතු ප්‍රදේශයක පාලනය තිබුණේ රුසියානු පිටුබලය ලද බෙදුම්වාදීන් යටතේ ය.
එසේ බිඳී ගිය කලාප දෙකක (ස්වයං-ප්‍රකාශිත ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව) ස්වාධීනත්වය රුසියාව පිළිගන්නා බවට 2022 පෙබරවාරි 21 දා ජනාධිපති පුටින් ප්‍රකාශ කළේ ය.
එය යුක්රේනය, නේටෝ සහ බටහිර රටවල් විසින් හෙළාදුටු පියවරක් ද, පසුව පුටින්ට [එම කලාපයට] හමුදා කණ්ඩායම් ඇතුළු කිරීමට ඉඩ සැලසූ පියවරක් ද විය.
රුසියාව 2014 දී ක්‍රිමියාව එරටට ඈඳාගෙන තිබුණ ද, බොහෝ රටවල් තවමත් ක්‍රිමියානු අර්ධද්වීපය යුක්රේනයේ කොටසක් ලෙස පිළිගනියි.
වසර පුරාවට යුක්රේනයේ පාලන සිතියම් වෙනස්වූ අයුරු

ආක්‍රමණයෙන් වසරකට පසු, යුද්ධය මුල දී රුසියාව සිය හමුදා කියෙව් වෙත මෙහෙයවූ සමයේ මෙන් විශාල භූමි ප්‍රදේශයක් අයත්කර ගෙන නොසිටියත්, තවමත් නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල සැලකිය යුතු ප්‍රදේශයක් අල්ලාගෙන සිටියි.
යුක්රේන අගනුවර දෙසට ගමන් කිරීම අසාර්ථකවීමෙන් පසු රුසියානු හමුදා එහි අවධානය යොමුකළේ නැගෙනහිරින් ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක්හි ඔවුන්ට බලය ඇති ප්‍රදේශයන් ක්‍රිමියාවට ආසන්න ප්‍රදේශ හා සම්බන්ධ කිරීම කෙරෙහි ය.
මැයි මාසයේ දී, දීර්ඝ හා ලෙයින් වැකි වැටලීමකින් අනතුරුව මරියුපොල්හි අසොව්ස්ටල් වානේ වැඩපොළෙහි ඉතිරිව සිටි යුක්රේන හමුදා එරට විසින් ඉවත් කෙරුණු විට ඔවුන්ගේ වෑයම සාර්ථකවිය. මෙය, රුසියානු පාලනය යටතේ පිහිටි දකුණු හා නැගෙනහිර ප්‍රදේශ සම්බන්ධ කරනා ප්‍රධාන ගොඩබිම් 'පාලමක්' මෙන්ම, යුක්රේනයේ ගිනිකොණදිග වෙරළ තීරයේ සහ අසොව් මුහුදේ පාලනය ද රුසියාව වෙත ලබාදුන්නේ ය.
නමුත් එදා පටන් යුද්ධයේ ප්‍රධාන ජයග්‍රහණ බොහොමයක් යුක්රේනය සතු විය.
සැප්තැම්බරයේ ඇරඹි ප්‍රතිප්‍රහාරයේ දී, ඊසානදිග කාර්කිව් කලාපයේ ප්‍රදේශයන් රැසක් යුක්රේන හමුදා යළි අත්පත්කර ගත් අතර, පසුව ලිමාන් නගරය ද, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් කලාපයේ අනෙකුත් ප්‍රදේශයන් ද නැවත අත්පත්කර ගත්හ.
නොවැම්බර් මාසයේ දී, යුක්රේනය දකුණේ දී ඉදිරියට යෑම නිසා කෙර්සොන් නගරයේ සිට නිප්‍රෝ ගඟේ නැගෙනහිර පැත්තට ඉවත්වීමට රුසියානු හමුදාවන්ට සිදුවිය. නමුත් රුසියානු රජය තවමත් බටහිර ඉවුරේ භූමිය පාලනය කරයි.
යුක්රේනයේ බලාගාරවලට එරෙහි ප්‍රහාරයන් ඉහළ යයි
රුසියාව මේ සියල්ලට ප්‍රතිචාර දැක්වීය - ඒ, යුක්රේනයේ නගර සහ බලාගාරවලට එරෙහි කෲස් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දියත් කරමිනි. මේ පියවර මුල දී කරළියට පැමිණියේ, ඔක්තෝබරයේ දී ක්‍රිමියාව රුසියාවට සම්බන්ධ කරන ප්‍රධාන 'පාලමකට' යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙනි.
නැගෙනහිර යුක්රේනයේ දී, ඩොනෙට්ස්ක් සිට කිලෝමීටර් 60ක් පමණ උතුරින් පිහිටි බක්මූත් නගරය අල්ලාගැනීමේ උත්සාහයක් ලෙස රුසියානු හමුදා ලේ වැකි සටනක නිරතවී තිබේ.
නමුත් මෙම ප්‍රහාරය විසින් රුසියානු හමුදාවන් අතර ඇතිවී තිබෙනවා විය හැකි භේදයක් පිළිබඳව ඉඟිකර ඇත. ඒ, රුසියානු රජයේ හමුදාව සහ පුද්ගලික කුලී හේවා සංවිධානයක් වන වැග්නර් කණ්ඩායම, ආසන්නයේ පිහිටි සොලේදාර් නගරය අල්ලාගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ කාට ද යන්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ පරස්පර විරෝධී ප්‍රකාශයන් සිදුකිරීම නිසාවෙනි.
'දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපය මුහුණපෑ විශාලතම සරණාගත අර්බුදය'

යුද්ධය හේතුවෙන් දහස් ගණනක් දෙනා මියගොස් ඇති නමුත් නිල හමුදා සංඛ්‍යා ලේඛන නිකුත් කිරීමට දෙපාර්ශ්වයම මැලිවෙති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයයට (OHCHR) අනුව, 2023 පෙබරවාරි 13 දා වන විට යුක්රේනයෙන් සිවිල් වැසියන්ගේ මරණ 7199ක් සහ තුවාල ලැබූවන් 11756ක් වාර්තා වී තිබේ.
එනමුත්, "දරුණු සටන් පැවැති ඇතැම් ස්ථානවලින් තොරතුරු ලැබීම ප්‍රමාද වී ඇති අතර බොහෝ වාර්තාවන් ද තවමත් තහවුරුකර නොමැති බැවින් සැබෑ සංඛ්‍යාවන් සැලකිය යුතු ලෙස වැඩිවනු ඇතැ යි විශ්වාස" කරන බව එම සංවිධානය ප්‍රකාශ කළේ ය.
රුසියානු ආක්‍රමණයෙන් පසු, මිලියන 44ක් පමණ වන යුක්රේන වැසියන්ගෙන් මිලියන 7.7ක් පමණම සරණාගතයින් ලෙස රුසියාව ද ඇතුළුව යුරෝපය පුරා විවිධ රටවලට සංක්‍රමණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) වාර්තාකර ඇත. මිලියන හතකට ආසන්න ජනගහණයක් යුක්රේනය තුළ ද අවතැන්ව සිටිති.
රුසියාවෙන් පසු සරණාගතයින් බහුතරයක් පළාගොස් ඇත්තේ පෝලන්තය, ජර්මනිය සහ චෙක් ජනරජය වෙත ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම තත්ත්වය විස්තර කළේ, "දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සිදුකෙරුණු වේගවත්ම ජනගහණ සංක්‍රමණය (බලහත්කාරයෙන්)" ලෙස ය.
යුක්රේන ප්‍රතිප්‍රහාරයෙන් පසු බොහෝදෙනා ආපසු කියෙව් වැනි නගර වෙත ගිය නමුත්, වසන්තය ලබන තුරු ආපසු නොපැමිණෙන ලෙස යුක්රේන රජය සරණාගතයින්ගෙන් ඉල්ලා සිටියේ ය. ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර නිසා දැඩිසේ හානිවී ඇති විදුලිබල පද්ධතියට ඇතිවන පීඩනය උණුසුම් කාලගුණය නිසා පහත වැටෙනු ඇතැ යි ඔවුහු බලාපොරොත්තු වෙති.
බොහෝ යුක්රේනියානු සරණාගතයින්ට - වැඩි වශයෙන් කාන්තාවන් සහ ළමුන්ට - යුරෝපය පුරා රටවලින් උණුසුම් පිළිගැනීමක් ලැබුණු නමුත්, දිගින් දිගටම පැවතෙන යුද්ධය සහ ගෝලීය ජීවන වියදම් අර්බුදය ද මධ්‍යයේ ඔවුන්ට තව කොපමණ කාලයක් සත්කාර කළ හැකි ද යන්න ජර්මනියේ සහ අනෙකුත් රටවල නිලධාරීන් ප්‍රශ්න කර තිබේ.
ජර්මනියේ තුරින්ජියාහි දිස්ත්‍රික් මන්ත්‍රීවරියක වන මාටිනා ෂ්වයින්ස්බර්ග් පැවසුවේ, මුල දී තම ප්‍රදේශයට පැමිණි යුක්රේනියානුවන්ට නවාතැන් පහසුකම් සැලසීම සඳහා ඔවුන් පුද්ගලික නිවාස හිමියන් මත විශ්වාසය තැබූ නමුත් දැන් එසේ කිරීමට ඔවුන් මැළිවනබව ය.
පාසල්වල ක්‍රීඩාගාර හදිසි නවාතැන් මධ්‍යස්ථාන බවට පත්කිරීම සම්බන්ධයෙන් ඇතැම් ජන පිරිස් අතර පැවැති අප්‍රසාදය තව තවත් වර්ධනයවෙමින් පවතියි.
"අපේ ධාරිතාව උපරිමයට ඇවිත් තියෙන්නේ," ඇය පැවසුවා ය. "අපිව බිත්තියට හේත්තු වෙලා තියෙන්නේ දැන්."
යුද කලාපයකින් ඉවත්වගොස් වෙනත් රටක නව ජීවිතයක් ගත කිරීමට උත්සාහ දරනා අතරේ, ගැටුම්වල කම්පනයන් සිත් තුළ හොල්මන් කරද්දී, මව්රටේ අත්හැර දමා ඒමට සිදුවූ ඥාති හිතමිතුරන් සිහි වෙද්දී බොහෝ සරණාගතයින් ගෙවන්නේ අපහසු දිවියකි.
"යුක්රේන සරණාගතයින් ඔවුන්ගේ සත්කාරක රටවල දී රැකියා කිරීමට උනන්දු නමුත් ඒ සඳහා ඔවුනට අමතර සහායක් අවශ්‍ය වන අතර, ඔවුන් වෙසෙන ප්‍රජාවන් තුළට ඔවුන් මුහුකර ගැනීම සහතික කිරීමට" සිදුවනු ඇතැ යි UNHCR සැප්තැම්බර් මාසයේ දී අනතුරු ඇඟවීය.
නමුත්, "කාන්තාවන්, ළමුන්, වැඩිහිටි පුද්ගලයින් සහ ආබාධ සහිත තැනැත්තන් අතිශයින් අනතුරට භාජනය වියහැකි තත්ත්වයන්ට පත්කර ඇතැ"යි පසුගිය ඔක්තෝබරයේ දී UNහි මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් දැඩි කණස්සල්ලක් පළකර තිබේ.
මේ වන විට එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප ලේකම් සහ හදිසි සහන සම්බන්ධීකාරක මාර්ටින් ග්‍රිෆිත්ස් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ පවසා සිටියි: "වසරකට ආසන්න කාලයකට පසුත් යුද්ධය මහා පරිමාණයකින් දිනපතා මරණ, විනාශය සහ අවතැන්වීම් සිදුකරමින් සිටියි."
සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ෆිලිප්පෝ ග්‍රන්ඩි 2023 පෙබරවාරි මාසයේ දී, "සියලු සරණාගතයින් සඳහා එකමුතුව සහ සහයෝගය යළි තහවුරු කරන" ලෙස යුරෝපා සංගම් නායකයින්ගෙන් ඉල්ලා සිටියේ ය.
භාවිතා කෙරෙන අවිආයුධ හා ඒවා සපයන රටවල් වෙනස්වීම

යුද්ධය ආරම්භවීමෙන් පසු සිදුවූ විශාලතම වෙනස්කමක් වන්නේ භාවිතා කෙරෙන අවිආයුධ හා ඒවා සපයන රටවල් වෙනස්වීම යි.
රුසියාව ලොව දෙවන විශාලතම ආයුධ අපනයනකරු වන අතර, යුද්ධය ආරම්භයේ දී එහි හමුදාව සංඛ්‍යා ලේඛන අතින් යුක්රේනයට වඩා බලවත්බව දිස්විය. නමුත් ගෙවුණු වසර තුළ දී රටවල් 30කට වැඩි ගණනක් යුක්රේන රජය වෙත හමුදා උපකරණ සපයා ඇත.
"ව්ලැදිමීර් පුටින් බලාපොරොත්තු වුණා යුක්රේනය තමන්ගේ වඩා බලවත් අසල්වැසියගේ ක්‍රියාවන් යටහත්ව පිළිගනීවි, වෙනත් රටවල් [ගැටුමට] අර්ථවත් විදියට මැදිහත් නොවේවි කියලා. මේ බරපතල අවගණනය කිරීම අවසානයක් පේන්න නැති, දිග්ගැහුණු අර්බුදයකට මඟපෑදුවා," ලන්ඩනයේ කිංග්ස් කොලෙජ්හි යුධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්ය බාබරා සැන්චෙටා බීබීසීය හා පැවසුවා ය.

රුසියාව සමග ආතතිය වර්ධනයවීමත් සමග, එක් වෙඩි පහරකින් යුද ටැංකි විනාශ කිරීම සඳහා නිර්මාණයකර ඇති, උරහිස මත තබා දියත් කරන Nlaw ආයුධ දහස් ගණනක් යුක්රේනයට සපයනු ලැබුණි. ආක්‍රමණයේ මුල් දිනවල දී කියෙව් වෙත පැමිණෙන රුසියානු භට පිරිස් නැවැත්වීමට මේවා ප්‍රධාන දායකත්වයක් සැපයූ බවට සලකනු ලැබීය.
එතැන් සිට යුද්ධයේ බොහෝ සටන් සිදුවූයේ රටේ නැගෙනහිර ප්‍රදේශයන්හි දී ය. එහිදී දිගුදුර ආයුධ භාවිතා කිරීම නිසා ජයග්‍රහණ ලැබීමට යුක්රේනය සමත්ව සිටියි.
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව M777 හවිට්සර් සහ M142 HIMARS වැනි බලවත් රොකට් පද්ධතීන් යුක්රේනයට සපයා ඇත.

එක්සත් ජනපද නිලධාරීන්ගේ වාර්තාවලට අනුව, බටහිර රටවල සම්බාධකවල බලපෑම දැනීමත් සමග රුසියාව යුද්ධය සඳහා භාවිතා කිරීමට මිලියන ගණනක් රොකට්ටු සහ කාලතුවක්කු උණ්ඩ මිලදී ගනිමින් සිටියි. ඔවුන් සැපයුම් සඳහා උතුරු කොරියාව වැනි රටවල් මත යැපෙනබව ද වාර්තාවන්හි සඳහන් ය. රුසියානු සහ උතුරු කොරියානු රජයයන් මෙම වාර්තා ප්‍රතික්ෂේපකර තිබේ.
යුක්රේනය එරට නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල දී ලද ප්‍රගතියට ප්‍රධාන සාධකයක් ලෙස සැළකෙන්නේ නිරවද්‍ය දිගුදුර ආයුධ සඳහා වඩාත් හොඳ ප්‍රවේශයක් ඔවුනට තිබීම යි. රුසියානු ගුවන් ප්‍රහාරවලට එරෙහිව යුක්රේනයේ ආරක්‍ෂක උපක්‍රමයන් ශක්තිමත් කිරීමේ දී ද දියුණු බටහිර පද්ධති කේන්ද්‍රවී තිබේ.
ගැටුම ආරම්භයේ සිටම, යුක්රේනය සෝවියට් යුගයේ S-300 වැනි මතුපිට සිට ගුවනට යවන මිසයිල පද්ධති භාවිතා කළේ ය. නමුත්, එක්සත් ජනපදයේ NASAMS (National Advanced Surface-to-Air Missile System) සහ ජර්මනියේ IRIS-T SLM ඇතුළු බටහිර රටවල ආයුධ පරාසයක් මෙන්ම එක්සත් රාජධානියේ ස්ටාර්ස්ට්‍රෙක් වැනි කුඩා, උරහිස මත තබා දියත් කරන ආයුධ පද්ධති ද මීට එකතුවී තිබේ.
දෙසැම්බරයේ දී, දියුණු පේට්‍රියට් මිසයිල පද්ධතියක් යුක්රේනයට යවන බවට එක්සත් ජනපද රජය නිවේදනය කළේ ය. ජර්මනිය සහ නෙදර්ලන්තය ද එය අනුගමනය කළේ ය. පද්ධතිය සඳහා භාවිතා කරන මිසයිල වර්ගය අනුව එයට කිලෝමීටර 100ක් දක්වා පරාසයක් ඇත.

නමුත් යුක්රේනයට ආයුධ යවන වේගය නිසා යුක්රේනය කලකිරීමට පත්වූ තවත් ක්ෂේත්‍ර තිබේ.
යුද්ධයේ මුල් අවධියේ දී ස්ට්‍රයිකර් සහ බ්‍රැඩ්ලි වැනි පාබල සටන් රථ එරටට ලැබුණු මුත්, එරට මිත්‍ර පාක්ෂිකයින් සහ ආධාරකරුවන් ටැංකි සැපයීම සඳහා එකඟවීමට බොහෝ සේ ප්‍රමාදවිය. යුක්රේනයට සන්නාහ රථ ලබාදීමට රටවල් එකමුතුවක් එකඟවූයේ පසුගිය ජනවාරි මාසයේ දී ය. පළමුවෙන් බ්‍රිතාන්‍යය චැලෙන්ජර් 2 පරිත්‍යාග කිරීමත්, පසුව එක්සත් ජනපදය M1 ඒබ්‍රම්ස් හා, ජර්මනිය ලෙපර්ඩ් 2 පරිත්‍යාග කිරීමත් සිදුවිය. මෙහිදී ජර්මානු රජයේ තීරණය විශේෂ විය. මන්ද, පෝලන්තය වැනි, ජර්මනියේ නිෂ්පාදිත ලෙපර්ඩ් රථ භාවිතා කරන්නන්ට ද ඔවුන්ගේ ටැංකි සැපයීමට එමඟින් ඉඩ සැලසෙනබැවිනි.
බටහිර යුද ටැංකි භාවිතාව වෙනසක් සිදුකරනු ඇතිබව උපායමාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ (ISS) ජ්‍යෙෂ්ඨයෙකු වන බෙන් බැරී බීබීසීයට පැවසුවේ ය. නමුත්, හිටපු බ්‍රිතාන්‍ය හමුදා බ්‍රිගේඩියර්වරයෙකු අනතුරු ඇඟවූයේ මෙතෙක් සිදුකෙරුණු ප්‍රතිඥා තීරණාත්මකබව ඔප්පුවීමට ඉඩක් නොමැති බව යි. ටැංකිවලින් පමණක් සටනක් දිනීමට නොහැකි බව ඉතිහාසය පෙන්වාදෙන බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර, ප්‍රවෘත්ති ප්‍රකාශයක් ගැන සඳහන් කරමින් රුසියානු රජයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්, තවදුරටත් බටහිර ආයුධ සැපයීම "සැලකිය යුතු අන්දමේ උත්සන්නයකට තුඩුදෙනු ඇති" අතර අනෙකුත් රටවල් "ගැටුමට සෘජුවම සම්බන්ධවෙමින් සිටින බවට" අනතුරු ඇඟවීය. යුක්රේනයේ මිත්‍ර පාක්ෂිකයින් සහ ආධාරකරුවන් යුක්රේන රජයෙන් වැඩි වැඩියෙන් ඉදිරිපත් කෙරෙන ඉල්ලීම් නොතකා ප්‍රහාරක ජෙට් යානා සැපයීමෙන් වැළකී සිටින්නේ වැඩිවන ආතතීන් පිළිබඳ මේ භීතිය යි.
මෙම ගැටුමේ දී ඩ්‍රෝන ද දැඩි ලෙස භාවිතාකර ඇති අතර, ඉන් බොහොමයක් යුද්ධයේ මුල් අවධියේ දී අවේක්ෂණ කටයුතු සහ ඉලක්ක කිරීම සඳහා භාවිතා විය. ගැටුමේ ආරම්භයේ සිට, තුර්කි ආරක්ෂක කොන්ත්‍රාත්කාර බයිකාර් සමාගම විසින් යුක්රේනයට සටනේ දී අහිමිවූ ඩ්‍රෝන වෙනුවට, ඉහළ පිළිගැනීමක් ඇති බයිකාර් ඩ්‍රෝන වන TB2 ඔවුනට විකුණා සහ පරිත්‍යාගකර ඇත.
මෑත මාසවල දී රුසියාව යුක්රේන නගර සහ බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා "කමිකසේ" ඩ්‍රෝන විශාල ප්‍රමාණයක් (හා කෲස් මිසයිල) භාවිතාකර ඇත. ඉරානය රුසියානු රජය වෙත ඩ්‍රෝන යානා සැපයුවේ යුද්ධය ආරම්භවීමට පෙර බව ඉරානය ප්‍රකාශ කළ ද, ගැටුම අතරතුර තවත් ඩ්‍රෝන සියගණනක් රහසිගතව සපයා ඇති බව විශ්වාස කෙරෙයි.










