පෙගාසස්: 'ක්‍රියාධරයන් දඩයම් කිරීමට' දුරකතන දත්ත සොරකම් කරන මෘදුකාංග ආණ්ඩුවලට විකුණලා

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඊශ්‍රායල ඔත්තු සේවා සමාගමක් විසින් අධිපතිවාදී ආණ්ඩුවලට අලෙවි කරනු ලැබූ පරිගණක මෘදුකාංගයක් යොදාගෙන ලොව පුරා වෙසෙන මානව හිමිකම් ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් සහ නීතිවේදීන් ඉලක්ක කර තිබෙන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
NSO Group නම් සමාගමේ සේවාදායකයන් විසින් ඉලක්ක කරන ලද බව සැලකෙන දුරකතන අංක 50,000 කට ඉහත කී පුද්ගලයන් ද ඇතුළත් වන බව ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වෙත යොමුකරන ලද ලැයිස්තුවක දැක්වේ.
මෙම ලැයිස්තුවේ මූලාශ්‍රය කවරක් ද සහ කෙතරම් දුරකතන අංක මෙසේ හැක් කර තිබෙන්නේ ද යන්න පැහැදිලි නැත.
එන්එස්ඕ සමාගම පවසන්නේ, තමන් කිසිදු වරදක් කර නොමැති බවය.
පෙගාසස් (Pegasus) නම් සිය මෘදුකාංගයේ අරමුණ අපරාධකරුවන් සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව යොදාගැනීම බව පවසන සමාගම, තමන් එය ලබාදෙන්නේ යහපත් මානව හිමිකම් වාර්තාවක් සහිත රටවල නීතිය පසිඳලන ආයතන, ආරක්ෂක අංශ සහ රහස් ඔත්තු සේවාවන්ට පමණක් බව ද සඳහන් කරයි.
ඉහත කී මාධ්‍ය වාර්තාවලට පදනම් වූයේ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය සහ පැරිසිය මූලස්ථාන කොටගත් Forbidden Stories නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් කරන ලද විමර්ශනයකි.
එම විමර්ශනය "වැරදි පූර්ව නිගමන සහ සනාථ කළ නොහැකි තර්ක" මත පදනම් වී තිබෙන බව නිවේදනයක් නිකුත්කරමින් එන්එස්ඕ සමාගම පවසයි.
"සිය මෘදුකාංගය අනිසි ලෙස යොදාගැනීම පිළිබඳ විශ්වසනීය ප්‍රකාශයන් ගැන තවදුරටත් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබන" බවත් එම සමාගම තවදුරටත් පැවසීය.
පෙගාසස් මෘදුකාංගයට එරෙහිව එල්ලවන චෝදනා වොෂිටන් පොස්ට්, ගාඩියන් සහ ල මොන්ඩේ සහ බොහෝ මාධ්‍ය සංවිධාන විසින් ද ප්‍රකාශයට පත්කර තිබිණ.
අයිෆෝන් සහ ඇන්ද්‍රෝයිඩ් ස්මාර්ට් දුරකතනවලට පිවිසී එහි තිබෙන පණිවුඩ, ඡායාරූප සහ ඊමේල්, දුරකථන පණිවුඩ විස්තර, ලබාගැනීමට මෙන්ම දුරකතන සංවාද පටිගත කිරීමටත්, රහසිගත ලෙසින් දුරකථනයේ මයික්‍රොෆෝනය සහ කැමරාව ක්‍රියාකරවීමටත් එම මෘදුකාංගයට හැකියාව තිබේ.
ඉලක්ක කළ පුද්ගලයන් ගැන අපි දන්නා කරුණු

ඡායාරූප මූලාශ්‍රය, EPA
අදාළ ලයිස්තුවේ තිබූ දුරකථන අංක කිහිපයක් පරීක්ෂා කිරීමේ දී හෙළි වී තිබෙන්නේ එයින් අඩකම පෙගාසස් මෘදුකාංගය තිබූ බවට සලකුණු ඇති බවය.
ඒඑෆ්පී, සීඑන්එන්, නිව්යෝක් ටයිම්ස්, අල් ජසීරා ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක මාධ්‍යවේදීන් 180 දෙනෙකුට අධික පිරිසකගේ අංක අදාළ ලැයිස්තුවේ තිබෙන බව පැවසේ.
ලොව පුරා රටවල් ගණනාවක රාජ්‍ය නායකයන්, අරාබි රටවල රජ පවුල්වල සාමාජිකයන් සහ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ද එයට ඇතුළත්ය.
සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමෙන් දින කිහිපයකට පසු ඔහු විවාහවීමට නියමිතව සිටි කාන්තාවගේ දුරකථනයේ අදාළ මෘදුකාංගය හමුවී තිබෙන අතර, 2017 සැප්තැම්බර් සහ 2018 අප්‍රේල් අතර කාලයේදී කශෝගී ගේ බිරිඳගේ දුරකතනයේ ද පෙගාසස් මෘදුකාංගය ස්ථාපිතව තිබූ බව හෙළිවී තිබේ.
එම "දරුණු ඝාතනයට" සිය තාක්ෂණය කිසිදු ලෙසකින් සම්බන්ධ නැති බව NSO Group සමාගම පවසයි.
රටවල් 50ක සිටින දහසකට අධික පිරිසකගේ අංක හඳුනාගත් බව ලැයිස්තුව විමසමින් සිටින මාධ්‍ය ආයතන පවසති.
ඒ අතරින් බොහොමයක් අසර්බයිජානය, බහරේනය, හංගේරියාව, ඉන්දියාව, කසක්ස්තානය, මෙක්සිකෝව, මොරොක්කෝව, රුවන්ඩාව, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් අංක බව හඳුනාගෙන තිබේ.
ඒ පිළිබඳව විමසූ විට අදාළ බලධාරීන් පවසා තිබෙන්නේ තමන් පෙගාසස් මෘදුකාංගය භාවිතා නොකළ බවය; නොඑසේනම් ඔත්තු බැලීම සම්බන්ධ සිය බලතල අවභාවිත නොකළ බවය.
ජංගම දුරකතන 1400 කට සයිබර් ප්‍රහාරයක් එල්ලකළ බවට චෝදනා කරමින් 2019 දී වට්ස්ඇප් සමාගම, NSO සමාගමට එරෙහිව නඩු පැවරීය. ඒ අවස්ථාවේ NSO එම චෝදනාව ප්‍රතික්ෂේප කළ නමුත්, NSO සමාගමට WhatsApp භාවිත කිරීම තහනම් කරනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාවේත්?
පෙගාසස් මෘදුකාංගය භාවිත කිරීමේ පහසුකම ශ්‍රී ලංකා රජය විසින් ද මිලදී ගෙන ඇති බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා චෝදනා කළේය.
"පෙගාසස් කියල සොෆ්ට්වෙයාර් එකක් මේ ආණ්ඩුව අරන් තියෙනව," යනුවෙන් ඔහු පැවසුවේ, එය පක්ෂ, විපක්ෂ සියලු දෙනා සම්බන්ධයෙන් ඔත්තු බැලීම පිණිස යොදවාගත හැකි බවට අනතුරු අඟවමිනි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
එහෙත් කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
"මට කියන්න පුළුවන් රජය මෙවැනි ක්‍රියාවක් නොකරන බව. මම පුදුම වෙනවා මෙම ප්‍රශ්නයෙන්. අපි මේ ගැන දැනුවත් නෑ. මට කියන්න තියෙන්නේ අපි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මම හිතන්නේ නෑ මෙහි කිසිම සත්‍යතාවක් තියෙනවා කියලා," යනුවෙන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාවේ සඳහන් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් අධිකරණ හෝ වෙනත් අවසරයකින් තොරව නිවාසවලට ඇතුළු වීම සහ පුද්ගලයන්ගේ සන්නිවේදනය අධීක්ෂණය කිරීමට රජයේ බලධාරීන්ට අවසර දී ඇති බවය.
කෙසේ වුවත්, "සුදුසු නෛතික බලයක් නොමැතිව රජය පුද්ගලික මාර්ගගත සන්නිවේදනයන් අධීක්ෂණය කළ බවට විශ්වාසදායක වාර්තා නොමැත. අසභ්‍ය යැයි සිතන වෙබ් අඩවි සඳහා රජය සීමිත සීමාවන් පනවා ඇත," යනුවෙන් ද එම වාර්තාවේ දැක්විණ.








